Friday, February 8, 2013

෴විශ්වයේ සම්භවය සහ මනුෂ්‍යයාගේ විකාශය෴




          මෝඩයා පිදුම් ලබන්නේ මොහු අපගේ පියාය, පුතා යැයි සැලකිලි සත්කාර ලබන්නේ නිවස තුල පමණකි. ප්‍රභුවරයා ගම් පියසෙහි පමණක් පිදුම් ලබයි. මේ අපගේ ගමෙහි ප්‍රධානියාය, ගම්පති යැයි ගම්වැසියෝ ඔහුට බහුමාන කෙරෙති. රජු දේශය තුළ පිදුම් ලබයි. මේ අපගේ රජතුමා යැයි රටවැසියෝ ඔහුට ගරු සැලකිලි කරති. එහෙත් විද්වතා දැන උගත් තැනැත්තා මොහූ මහා පඬිවරයෙකැයි සියලු තන්හි පිදුම් ලබන්නේය. හෙතෙම ගමෙහිද රටෙහිද පමණක් නොව මුලු ලොවෙහිම සත්කාර ගරුකාර, මානන පූජනයට ලක්වන්නේය” මෙම ග්‍රන්ථයේ පසුවදන ආරම්භ කර ඇති රුවන් වැකිය මෙය වෙයි.

පසු වදන එසේ පවසද්දි පෙරවදන මෙසේ සඳහන්ව ඇත. මිනිසාද සත්ව ගණයට අයත්වන හෙයින් අප සංස්කෘතියේ සඳහන්වනු ලබන්නේ දෙපා සතා ද්‍යොවා යනුවෙනි. තවත් තිරිසන් යෝනියේ උපදින සතුන් ඇතත් මනස දියුණු කරගත හැකිවන සතා මිනිසාය. සාමුහිකව සමාජගතව ජිවිතය ගතකරන මිනිසා ස්වභාවය සමාජ සංසෘතික ගති සොබාව පිරික්සමින් පරිණාමවාදි, කෘත්‍යවාදි, ඝට්ටනවාදි පර්යා ලෝකයන්ගෙන් කරුණු ගෙනහැර පාන කතුවරයා බෞද්ධ දර්ශණය ප්‍රදානකොට ඇතැම් අවස්ථාවන්හිදි අවශේෂ දර්ශනයන්ගෙන්ද කරුණු උද්ධරණය කොට දක්වමින් පාඨකයා බහුශ්‍රැත භාවයට පත්කිරීම පිණිස ඉමහත් ප්‍රයත්නයක් දරා ඇත. තවත් බොහෝ ගුණ පෙර වදනටත් පසුවදනටත් එක් කර ඇත. මගේ දෙනෙත් වැඩි වේලාවක් රැඳුනු තැන් පමණක් මම මෙසේ සඳහන් කරමි.

මෙතෙක් මම තටමන්නට වුයේ “විශ්වයේ සම්භවය සහ මනුෂ්‍යයාගේ විකාශය”  නම් මෙම ග්‍රන්ථය සහ එය රචනා කළ ශාස්ත්‍රවේදි දෙල්ලව ඇන්.ඇල් මාතෘදාස ලියනගේ විද්වතිණන් පිළිබඳව ගෙන හැර දක්වා ඇති පසුවදන සහ පෙරවදනට අවස්ථාව දිමය.

රළු, ඝොෂාකාරී, විටෙක නිහඩ, විටෙක ළදරුවෙකු මෙන් සිත් ගන්නා, මිනිසා ගොදුරෙකු කර ගන්නා ද මවිතයටත් භිතියටත් පත් වන පුවත් මවන මුහුද වන් සිත දමනය කර ගැනිමට අපට මහත් අධ්‍යනයක නිරත වෙමින් ලොකය කියවිමට හුරුවිය යුතුය. මගේ සිතද මේ මෙහොත වන විට චංචලව පවතින බව කිව යුතු අතර, ජිවිතය සමබර කර ගැනිමටත් වයසට වඩා ප්‍රශ්ණ මා ඉදිරියට පැමිණි විට එයට මුහුණ දිමට සහ එම ත්තවයන් මනස තුල රඳා පවතින විට සැහැල්ලු මනසකින් දරා ගැනිමට මුල් වු පළමු මර්ගපදේශකයා බුද්ධ දර්ශණය විය. අදත් එවැනිම ආකාරයට සිත කැළඹිමට පත් වෙද්දී මෙම පොත අතට ගෙන කියවන්නට විය. ප්‍රශ්ණය අමතක කිරීම නොව එයට මුහුණ දිමට මනස සන්සුන් කර ගැනිමට දරණ ප්‍රයත්නය කි.

කතෘතුමා විසින් මහත් වෙහෙසක් ගෙන සම්පාදනය කළ ග්‍රන්ථයක් බව පොත කියවිමේදි හැඟි යන කරුණකි. සැහිමකට පත් නොවන මිනිස් සත්වයා පිළිබඳව නොයෙක් විදි නිදසුන් සහිතව හෙළ දරුවගේ කුසලතාද ඇතුලත් කරමින් උත්සහා ගෙන තිබෙන්නේ මිනිසා පිරිසිදු සත්වයෙකු කරලිමට හැකි මඟය.

ජාතක කතා, මංගල සුත්‍රය, ධම්ම පදය, සිඟාලෝවාද සුත්‍රය, බුදුගුණාලංකාරය, ලෝවැඩ සඟරාව, මහා වංශය, කාව්‍යශේකරය, හිතපදේශය, වෙනත් ග්‍රන්ථ, පුවත්පත්, විද්වත් අදහස්, සමාජ සමික්ෂණ, සංදේශ සහ වෙනත් දේශ වල දර්ශණිකන්ගේ අදහස්, පොත්පත් විවිධ වු ග්‍රන්ථ හා ලිපි ලේඛණ ඇතුළුව තවත් ග්‍රන්ථ 454 ක් මේ සඳහා ආශ්‍රිත කරගනිමින් සහ  අධ්‍යනය කරමින් මෙම ‍ග්‍රන්ථය සම්පාදනය කොට ඇත.
සාර්ථක මිනිසෙකු බවට පත් විමට තමන්ගේ  භුමිකාවද යහපත් ලෙස ගත කල යුතුය.

දියුණුවට උපදෙස්,
පිටු අංක 386 සිට 392 දක්වා මේ සම්බන්ධව කරුණුගත කොට ඇත. උගත් නුගත් සියල්ලටම දියුණු විමට බුදුරජාණන් වහන්සේ හා ප්‍රඥයින් උපදෙස් දි තිබේ. ඉන් බිඳක් පහත දැක්වේ.
යො පූබ්බෙ කත කල්‍යාණො
අකා ලොකෙ සූදුකකරං
පච්ඡා කයිරා නවා කයිරා
අච්චන්තං පූජ නාරහො

යම් කෙනෙක් පෙර තමාට කිසිම උපකාරයක් නොකළ කෙනෙකුට පළමුවවෙන් උපකාරයක් කරයිද, ඔහු ලෝකයේ අමාරුම දෙයක් කළ කෙනෙකි. ඔහු නැවත කාටවත් උපකාර කළත් නොකළත් පළමුවෙන් කළ උපකාර නිසා ඒකාන්තයෙන්ම පිදිය යුත්තෙක් වෙයි.
         
          හික්මුනු සංවර බවින් යුක්ත නම් තමන්ට හිමි සහජ කුසලතා මනාව උපයොගි කරගනිමින් දියුණුව කරා යාමට හැකි බව කතෘතුමා මෙම කොටස තුලින් පැහැදිලි කිරීමට උත්සහා කර ඇති බව මට හැඟි යයි. තව දුරටත්.....

          යෙෂාං නවිද්‍යා  න තපො නදානං
          ඥානං නශීලං නගුණං නධම්ං
          තෙ මර්ත්‍ය ලොකෙ භුවිහාර භූතං
          මනුෂ්‍ය රූපෙන මෘගාශ්චරන්ති

යමෙකුට උගත්කම, තපස්කම, දන්දිමේ පුරුද්දක්, උසස් ඥානයක් සීලයක්, පරාර්ථකාමී ගුණයක්, පාරමී ධම් පිරිමාදියත්, නැත්නම් ඔහු පොළවට බර මනුෂ්‍ය රූපයෙන් හැසිරෙන තිරිසනෙක් හා සමික කෙනෙකි.

තව දුරටත් “දියුණුවට උපදෙස්” කියවාගෙන යද්දි අපූරු කවියක් ළඟ මා සිත නතර විය.

ළඳුන් නිරිඳු ගුරුවර ගිනි මෙ සිව් දෙ              
ළඟින් ඉතා උන්නොත් නපුරු පැමිණෙ         
තුරන් වෙලා උන්නොත් ඵල නොමැති ව       
නැණින් ඵල විඳිණූ මැදිහත්ව සෙවි මෙ         
                                               
ප්‍රත්‍ය තරංගමාලය දොන් කරෝලිස් මහතා

වරදක් සිදුකළොත් දන පතියෙක් කු              
නීතිය නොපිට යයි දඬුවම් නැත ඊ                 
කෙලෙසද කීවොත් එම අවනඩූවෙහි පා        
අඹු ගත්තොත් රජෙක් පවසන්නද කා            
                                               
උපායරත්නමාලය සිංහල කවි සංග්‍රහය

සුද්ද වන ලෙසට බොරු බස් නොකියන්        
රෙද්ද පටක් ඇඳ පාරේ නොසිටින්                
හොද්ද ලිප තබා වට පිට නොදුවන්               
සිද්ද උනු දේට කුල මල නොකියන්              

          සිංහල බෞද්ධ ජනයා බුදු දහමින් හා හදවතත් චරියාවනුත් දියුණු කරගත් අතර, රසිකත්වයෙන් යුත් පිරිසක්ද වුහ. එම කලා කරුවෝ ගල් කටුවෙන් හා මිටියෙන් සමාධි පිළිම වහන්සේ,අවුකන පිළිම වහන්සේ වැනි අගනා ප්‍රතිමා නෙලූහ. ලෝකය මවිත කරවන සිගිරි ලලනාවන් තෙළි තුඩින් නිර්මාණය කළහ. ගුරුළු ගෝමි පැරකුම්බාවන්, විල්ගම්මුල සංඝරාජ හිමි, තොටගමුවේ රාහුල හිමි විදාගම මහා මෛත්‍රි හිමි, වැනි භාෂා විශාරදයෝ වටිනා සාහිත්‍යයක් නිර්මාණය කළහ.

          බුද්ධිමත් කරුණාවන්ත, රසික ජනතාවක් ඇතිවිමට නම් රටේ ආර්ථික තත්වය යහපත් විය යුතුය. වස විස නැති පෝෂ්‍යදායි ආහාර සාදා ගන්නා අය නිරෝගිමත් බුද්ධිමත් පිරිසක් වෙති. එය දැනගත් අපගේ විරෝධාර රජවරු පරසතුරන් සමඟ යුද්ධ කිරීමට පෙර රටේ කෘෂිකර්මාන්තය දියුණු කළහ. පොළොන්නරු යුගයේ ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත්විය.

“දියුණු විමට උපදෙස්” එසේ අවසන් කර ඇති එතුමා තවත් විවිධ මාතෘකා 88 ක් පිටු 428 ක පෙළ ගස්වා ඇත. එය මට ප්‍රාතිහාර්‍ය්‍ය කි.  

මාතෘකා 88කින් යුත් ග්‍රන්ථයේ ඔබව දැනුවත් කිරීම පිණිස මම මෙම “දියුණු විමට උපදෙස්” කොටස තෝර ගන්නා ලදි.

මම මෙහි අවසානය “යහපත් පුද්ගලයින් වන්නේ කෙසේද?” යන කොටසින් උපුටා ගත් ගථාවකින් මතු සම්බන්ධ කරමි.

          ජාතිත්ථද්ධො ධනත්ථද්ධො     -       ගොතත්ථද්ධො ච යො නරො
          ඤ්ඤාතිං අති මඤෙඤතී           -        තං පරාභවතො මුඛං 

යමෙක් ජාතිය නිසා, ධනය නිසා, ගෝත්‍රය නිසා අති මානයෙන් මත්වි අනික් නෑදෑයින් පහත් කොට සිතයිද එසේ කිරීම ඔහුගේ පිරිහිමට හේතුවේ.
-පරාභව සුත්‍රය-
40 Comments
Tweets
Fb Comments

40 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. මෙවුවා කියවලා ජීවිතේ හදාගන්න තරං දැනුමක් තියෙන මිනිස්සු දැං ලංකාවේ ඉන්නවද කියලා පොඩි සැකයක් තියෙනවා...
    මොකද කමෙන්ට් කරන මමවත් මෙහෙම පොතක් හම්බුනොත් කියවන එකක් නෑ...

    ReplyDelete
  2. පොතට එල විවරණයක් දීල තියෙනවා.හම්බුනොත් කියවලා බලන්නම්කෝ....

    ReplyDelete
  3. මේ පොත නම් මගේ ටිකිරි මොලේට බර වැඩියි වගේ. ඒකෙ තියන කවි නම් හැබැයි පස්ට.

    නඩුවකුත් තියනව,
    නිල් පාට අකුරු ෆෝන් එකෙන් බලනකොට පේන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ගයනි මේකේ දැන් කමෙන්ට් දාන්න අමාරුයි... පොත ගැන ඔත්තුවට ඔබට ස්තුතියි.

      Delete
  4. //හික්මුනු සංවර බවින් යුක්ත නම් තමන්ට හිමි සහජ කුසලතා මනාව උපයොගි කරගනිමින් දියුණුව කරා යාමට හැකි බව කතෘතුමා මෙම කොටස තුලින් පැහැදිලි කිරීමට උත්සහා කර ඇති බව මට හැඟි යයි.//

    ඇත්තෙන්ම.. පොතේ අන්තර්ගතය වෙනුවෙන් විචාරය ඇත්තටම වටිනවා.. ස්තූතියි මේ වටින කෘතය ගැන දැනුවත් කිරීමට..

    ReplyDelete
  5. මට ඕකේ නම දැක්කාමම හිතුනා බර වැඩි කියලා,හැබැයි චුරු චුරු ගාගා හරි කියවගන්න පුළුවන්නම් වටිනවා

    ReplyDelete
  6. හදුන්වාදීමට තුති....
    ඔබ සඳහන් කර ඇති සටහනේ, මිනිසෙකුගේ පිරීහීමේ කරුණු ඇතුලත්ව බුදුන් විසින් දෙසූ පරාභව සුත්‍රය පමණයි මා දන්නේ. බොහෝ කොටස් තවමත් මතකයි.

    ReplyDelete
  7. බොළඳ නවකතා අතරේ වැදගත් චින්තනයක්.....

    ReplyDelete
  8. හ්මි හොද පොතක් වගෙයි..
    ස්තුතියි සටහනට

    ReplyDelete
  9. පොත ගැන දැනුවත් කලාට ස්තුතියි.!

    ReplyDelete
  10. /*යමෙකුට උගත්කම, තපස්කම, දන්දිමේ පුරුද්දක්, උසස් ඥානයක් සීලයක්, පරාර්ථකාමී ගුණයක්, පාරමී ධම් පිරිමාදියත්, නැත්නම් ඔහු පොළවට බර මනුෂ්‍ය රූපයෙන් හැසිරෙන තිරිසනෙක් හා සමික කෙනෙකි.*/

    මේ කොටස අද කාලෙට ගොඩක්ම වටිනව. විශේෂයෙන්ම දැන් දැන් අහන්න දකින්න තියෙන දේවලුත් එක්ක...

    පොත ගැන දැනුවත් කලාට ස්තූතියි ගයනි.

    ReplyDelete
  11. ගයනි ඉතාම වටිනා පොතක් ගෙනවට පිං. මේ පොතේ කියන බොහෝමයක් දේවල් බුද්ධ ධර්මය ඇසුරෙන් තමයි ලියවිලා තියෙන්නෙ. අපේ ජීවිත හදාගන්න ඒවා හරිම වටිනවා. කවදාවත් ධර්මයේ ඉන්න කෙනෙක්ට වරදින්නේ නෑ . ඔහු සමහරවිටෙක දිළින්දෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහු ධර්මයෙන් පොහොසත් වී හරිමඟ යන්නෙක්. ඒ පොහොසත් කම තමයි වටින්නෙ.

    ReplyDelete
  12. GM, poth kiyawanna welawak nathi mama wage ayata kohoma hari welawa hoyagena kiyawanna onee kiyala hitena vidiyata para penuwata godak pin......

    ReplyDelete
  13. පුවත්පත් ලිපි එකතුකර පොත් වශයෙන් පළකිරීමේ දී කිසිදු වාණිජ පරමාර්ථයක් ඒ සඳහා හේතු නොවූ බව පළමුව අවංකව කිව යුතුය. මට අවශ්‍ය වූයේ හැකිතාක් මේ ආකල්ප සමාජගත කිරීමයි. පුවත්පත් ලිපි ලිවීම මෙන්ම පොත්පත් ලියා පළ කිරීමද ඒ සඳහා යොග්‍ය වූ ක්‍රමවේදයි. පුවත්පත් ලිපි පළ කිරීමේදී යම්යම් සීමාවන්ට යටත්වීමට සිදුවේ. පළමු සීමාව නම් පුවත්පතක ඇති සීමිත ඉඩකඩ පිළිබඳ ගැටළුවයි. මේ නිසා ජාතික පුවත්පත්වල විශේෂාංග පිටු භාරව සිටින සංස්කාරකවරුන්ගේ ඉල්ලීම පරිදි, එම පුවත්පතේ නියමිත පිටුවේ ඉඩකඩවලට අනුරූප වන පරිදි බොහෝ අවස්ථාවලදී පුවත්පතකට පළකරවීම සඳහා ලියා යැවූ එකම ලිපිය වුවද කිහිප විටක් යළි යළිත් සංස්කරණය කර යැවීමට මට සිදුවූ වාර බොහෝය. මගේ ලිපි ඔවුන් විසින් සංස්කරණය කළහොත් ඒ ලිපිවල ශාස්ත්‍රීය අන්තර්ගතයට හානි සිදුවිය හැකි බැවින් මටම ඒවා සංස්කරණය කර එවන මෙන් ඒ සංස්කාරකවරුන් මාහට බොහෝඅවස්ථාවල දන්වන ලදී. මේ නිසා ලිවිය යුතු බොහෝ දෑ තිබුණ ද, පිටුවල ඉඩකඩ අනුව ඒ සියල්ල සාරාංශගත කරන්නට සිදුවිය. එබඳු ලිපියක අන්තර්ගත කළ යුතු අකුරු, වචන, පිටු සංඛ්‍යාව පවා දන්වන ලදී. මට නිදහසේ ලිවිය යුතු දේ එබඳු සීමාවක එබ්බවීමට ප්‍රයත්න දැරීමට සිදුවීම ස්ථූල අයෙකුට ඇඟට හිර වූ ඇඳුමක් ඇන්දවීමේ වෑයමකට නොදෙවෙනි වූවක් විය. එබඳු අවස්ථාවලදී සමහර ලිවිය යුතු දෑ අත්හරින්නට ද සිදුවින. සමහර විෂය කරුණුවල මතුපිට කරුණු පමණක් සාකච්ඡා කිරීමට සිදුවිය. නමුදු පුවත්පත් ලිපි පොතක් වශයෙන් පළකිරීමේදී ඒ අභියෝග ජයගැනීමට තරමක් දුරට හෝ හැකිය.
    පුවත්පත් ලිපි එකතුව පොතකට නැඟීමේදී පුවත්පත්වල පළවූ ලිපිය ඒ ආකාරයටම මෙහි අන්තර්ගත කිරීම වඩා ‍යෝග්‍යද, නොඑසේනම් වැඩිපුර විෂය කරුණු එක් කිරීම වඩා යෝග්‍යදැයි මෙහිදී අවධාරණය වූ වැදගත් කරුණකි. පොත්පත් පළකිරීමේදී පමණක් නොව රචනා කිරීමේදී පවා කඩදාසි මිළ, මුද්‍රණ වියහියදම් ඉහළයාම පිළිබඳව සැලකිල්ලට ගැනීමට සිදුවී තිබේ. කෙතරම් ශාස්ත්‍රීය වුවද පතපොත පළකිරීමද එක්තරා ව්‍යාපාරික කටයුත්තක් වන බැවිනි. වෙනත් ව්‍යාපාර කටයුතුවලට සාපේක්ෂව මින් ලැබෙන මූල්‍යමය ප්‍රතිලාභය කුමක් වුවද, මෙය එක්තරා අයුරකින් සමාජ සේවයකි. නිවැරදි දැක්මක් ඇතිකරගැනීම පිණිස මින් මහඟු පිටිවහලක් සැලසෙන හෙයිනි. ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියක් පළ කිරීමේදී බොහෝවිට අධෝලිපි, මූලාශ්‍ර දැක්වීම සම්ප්‍රදායක් වශයෙන් සිදු කෙරෙන්නකි. එය අන්තර්ගත වටිනාකම නිරූපණයට වඩා සම්ප්‍රදාය විසින් ඉල්ලා සිටින බාහිර හැඩයකි. නමුදු එය අවශ්‍යම වන අවස්ථා ද තිබේ. විශ්වවිද්‍යාලයකට ශාස්ත්‍රීය පර්යේෂණයක් ඉදිරිපත් කිරීම එබඳු දෙයක් අවශ්‍ය වියහැකි එක් අවස්ථාවකි. එබඳු බාහිර හැඩයක් රහිතව වුවද ශාස්ත්‍රීය කෘති හා ලිපි රචනා කළ හැකිය. ආචාර්ය ඊ.ඩබ්. අදිකාරම් මහතාගේ දාර්ශනික අදහස් ඇතුළත් සිතුවිලි කාණ්ඩ පොත් පෙළ එබඳු කෘති සඳහා නිදසුනකි. ක්‍රිෂ්ණමූර්ති තුමා‍ගේ දාර්ශනික අදහස් ඇතුළත් පතපොතද ඊට සමානය. එබඳු කෘති හා ලිපි මඟින් උත්සාහ ගෙන ඇත්තේ හුදෙක් කිසියම් විෂයක් පිළිබඳ විෂය කරුණු පමණක් ඉදිරිපත් කිරීමට නොවේ. සිතිය යුතු ආකාරය කියාදීමට එබඳු කෘති මහත් සේ වැදගත්වේ. විෂය කරුණු කියාදීමට වඩා නිර්මාණශීලීව සිතිය යුතු ආකාරය කියාදීම අසීරු කාර්යයකි.

    ReplyDelete
  14. ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියක අභ්‍යන්තර ලක්ෂණවලට අනුරූපව රචිත දාර්ශනික ග්‍රන්ථ තිබේ. මෙරට පාඨක ජනතාවට තරමක් ආගන්තුක විය හැකි වුවද, විදේශීය සාහිත්‍යයෙහි නම් මේවා සුලබය. අපේ රට තරමක ආවෘත සංස්කෘතියක් පවතින රටකි. විවෘත ආර්ථික රටාවක හිතුවක්කාරී වෙළඳ ආර්ථික ආකල්ප ප්‍රවාහයකට හසුව වල්මත්ව පැවතියද, නුවමනා ‍දේ මිස වුවමනා දේ තවම මෙරට සංස්කෘතියට ලැබී නැත. වාණිජ අංශයෙන් මෙරට සංස්කෘතියට විවිධ දේ ලැබෙතත්, සාහිත්‍ය කලා අංශයෙන් තවමත් සුදුසු දේ ලැබීමේ හිඟයක් පෙනේ. ඉතිහාසයේ දිගු කලක් මුළුල්ලේ මෙරට ප්‍රාචීන සාහිත්‍යයෙහි ආභාෂය ලබා ඇත. එනමුදු බටහිර සාහිත්‍යයෙන් අප උකහාගෙන ඇත්තේ මෙරට සංස්කෘතික අනන්‍යතාවයට ගැලපෙන දේ නොවේ. ප්‍රාචීන හා බටහිර සාහිත්‍යයේ ආභාෂය ලබා මෙරට සංස්කෘතියට අනන්‍ය වූ දේ සමඟ ගලපාගෙන අපට ගැලපෙන දාර්ශනික සම්ප්‍රදායක් මෙරට සාහිත්‍යය තුළ බිහිකළ යුතුව ඇත. එය එක්තරා අයුරකින් යුගයේ ද අවශ්‍යතාවය වේ. සම්ප්‍රදාය සුරැකිය යුතුය. නැවුම් අදහස් ලබාගත යුතුය. එමඟින් සිටින තැනින් ඉදිරියට ගමන්කළ යුතුය. මගේ මේ ව්‍යායාමය ඉහත කී ලක්ෂණ අන්තර්ගත වූ ශාස්ත්‍රීය පර්යේෂණ කෘතියක අභ්‍යන්තර ආකෘතියට අනුව මෙය පාඨකයා අතට පත්කිරීමයි.
    එම මේ පොත පුවත්පත් ලිපි එකතු ග්‍රන්ථ වශයෙන් පළ කරන පොත් මාළාවේ දෙවැනි පොතයි. මෙය පරිච්ඡේද සතරකින් ද පුවත්පත් ලිපි 75 කින්ද සමන්විතය. එම පරිච්ඡේද සතර නම් මුල් බුදුදහම, සාරධර්ම හා සමාජ ආකල්ප, සංස්කෘතිය හා සන්නිවේදනය,විද්‍යාව හා නූතන පසුබිම යන්නයි. මේ පරිච්ඡේද සතර මඟින් මානව ජීවිතය සිව් ආකාරයකින් පරිපූර්ණව විශද කෙරේ. මුල් බුදු දහමට අදාළ සංකල්ප නිවැරදිව වර්තමාන මෙරට සංස්කෘතිය තුළ විද්‍යමානදැයි සැක සහිත කරුණකි. මන්ද මෙරට තුළ ජනප්‍රිය බුදු දහම තුළ විද්‍යමානව ඇත්තේ මෙරට පැවති ජනඇදහිලි සමඟ මිශ්‍රව ගිය බුදු දහමක් වන බැවිනි. මීට විවිධ හේතු තිබිය හැක. මුල් බුදු දහම පාලි භාෂා‍වෙන් රචනා කර තිබීමද එක් හේතුවක් විය හැක. මුල් බුදු දහමේ දාර්ශනික සංකල්ප ‍මෙරට වැසි ජනතාව වටහාගත් ආකාරයට අනුව මෙරට බෞද්ධ සංස්කෘතියට ඒවා ගලපාගෙන තිබේ.
    පළමුකොටම මුල් බුදුදහම මිනිසා තුළ ආගමානූකූලව කෙසේ නිවැරදි ශික්ෂණය ඇති විය යුතුද යන කරුණ සාකච්ඡා කරයි. මේ යටතේ මුල් බුදු සමයේ අර්ථ දැක්වූ විවිධ මූලික දාර්ශනික පැතිකඩ පිළිබඳ විමසා බැලීමට යොමුවී තිබේ. පාලි පෙල දහමේ දැක්වූ වචන නිසි සේ අර්ථ ගන්වා ඇත්නම් ඉන් කියැවෙන දේ පහසුවෙන් අවබෝධ විය යුතුය. නමුදු මිනිස් හැසිරීම් විමසා බලන විට පැහැදිලි වන කරුණක් වනුයේ මිනිසා හුදෙක් ආගමික සංස්කාර විධි පැවැත්වීමට උත්සුක වනවා මිස එහි හරය සිය දිවි පැවැත්මට ප්‍රායෝගිකව භාවිතා නොකරන බවයි. ඊට යම්කිසි හේතුවක් තිබිය යුතුය. ආගමික ඉගැන්වීමවල හරය නිවැරදිව වටහාගත හැකි අයුරින් ඉදිරිපත් නොවීම මෙහි ප්‍රධාන හේතුවයි. පාලි භාෂාවෙන් රචනා වී ඇති බුදු දහමේ ගැඹුරු ඉගැන්වීම් සරළව ඉදිරිපත් කිරීමට මෙහිදී කිසියම් උත්සහයක් දරා තිබේ. බොහෝවිට මිනිසුන්ගේ ශ්‍රද්ධාව පිළිබඳ ඇත්තේ නිවැරදි ආකල්පයක් නොවේ. එහිදී ශ්‍රද්ධාව අධානග්‍රාහීව නොව විචාර පූර්වක බව පෙරටු කරගත් බුද්ධිමය පසුතලයක් යටතේ බුදු දහමේ විග්‍රහ වන බව දැක්වීම වැනි විවිධ ප්‍රස්තුත මේ යටතේ සාකච්ඡා කෙරේ. එසේම බුදු දහමේ හරය කාලයකට පමණක් සීමා වූ දෙයක්ද, වර්තමානයේ එහි සාකච්ඡාවන දේ නූතනත්වයට ගැලපෙන්නේදැයි මෙහිදී විග්‍රහකෙරේ.
    මාර්ගඵල ලාභි උතුමන් තමන් ලද මාර්ගඵල වලින් පිරිහීමට පත්වන්නේදැයි යන කරුණ පිළිබඳ පුරාණයේ සිටම විවිධ උගතුන් අතර සාකච්ඡාවට පාත්‍රවී තිබේ. ඒ අය අතර සැබවින්ම අවංක සිතින් බුද්ධිමය පසුතලය යටතේ මෙන්ම කපටි සිතින් අර්හත් පරමාදර්ශය පහතට දැමීමේ ආකල්පයෙන් යුතුව මෙබඳු දේ සාකච්ඡාකළ අය ද වෙති. කෙසේ වුවද ත්‍රිපිටකයේද ඇතැම් විටදී මෙබඳු දේ බුදුරදුන්ද දක්වා තිබේ. මාර්ගඵල ලාභී වුවද පහළ මාර්ගඵල ලත් අය තුළ අප්‍රහීනව ඇති කෙළෙස්වල බලපෑමට නතුවීම නිසා එවැනි තත්වයන්ට ගොදුරුවිය හැකි බව දක්වා ඇත. එහිදී මතු ඉහළ මාර්ගඵල වලට පත්වීම ඒ භවය තුළ හැකියාව ඇතිව සිටියදී පවා, කුසීතකම වැනි හේතු නිසා නිවන් අවබෝධය කරා යන සිය ගමන් වේගය මෙසේ බාල කරගත් බොහෝ සේඛ උතුමන් විසූ බව බුදුරදුන්ගේ අවවාද අනුව පෙනේ. නිතර ජන සන්නිපාතය අධික ස්ථානවල විසීම මෙන්ම නිතර සාමූහිකව එක්රැස් වී ධර්මානූකූල නොවන කතාබහ සහිතව කල්යැවීම බඳු හේතුද පමාවට අදාළ බව මෙහිදී පෙන්වා දී තිබේ. පිණ්ඩපාත චාරිකා බඳු විහාරස්ථානවලින් බැහැර යාම් සඳහා වුවමනාවට ද වඩා වැඩි කාලසීමාවක් මිඩංගු කිරීම පවා සේඛ උතුමන් කෙරෙහි අහිතකර අන්දමට බලපාන බව එහිදී පැහැදිලි කරදී ඇත. ආධ්‍යාත්මක දියුණුව හා නිවන සම්බන්ධ විවිධ කරුණු ද මෙහි සාකච්ඡා කර තිබේ.

    ReplyDelete
  15. මෛත්‍රිය හා සිව් බඹ විහරණ වලදී ආකල්ප සංවර්ධනය කරනුයේ කෙසේදැයි පෙන්වාදී තිබේ. මෛත්‍රියේ විවිධ පැතිකඩ හා නිවැරදි ලෙස මෛත්‍රිය වර්ධනය කරන ආකාරය මින් දැක්වේ. මෛත්‍රිය සාමූහිකත්වය හා සමාජ සබඳතා කෙරෙහි අතිශයින්ම වැදගත්වන ආකල්පයකි. බ්‍රහ්ම නම් උසස් යන්නයි. උසස්බව ඇති කරන හෙයින් බ්‍රහ්ම විහරණ වේ. මෛත්‍රිය, කරුණාව, මුදිතාව හා උපෙක්ෂාව යන සිව් වැදෑරුම් සංකල්ප වර්ධනය කිරීම උසස් බවට හේතුවකි. මේ සංකල්පවල පදනම මෛත්‍රියයි. මුල් බුදු දහම තුළ මෛත්‍රියට හිමි සමාජ ඇගයුම මෙහිදී විග්‍රහකර දැක්වේ. අද සමාජය ආගමික පිළිවෙත් වශයෙන් සලකනු ලබන දේ හරවත්ද? නොඑසේ නම් නිවැරදි ආගමික පිළිවෙත් මොනවාදැයි විමසා බැලීමට මේ පළමු පරිච්ඡේදයේ ලිපි මඟින් උත්සහයක් ගනු ලබයි. මුල් පරිච්ඡේදය මුල් බුදු දහම මැයෙන් නම්කර ඇත්තේ මේ පරිච්ඡේදයට අන්තර්ගතව ඇති ලිපි මඟින් මුල් බුදු දහමේ අන්තර්ගත විවිධ දහම් සංකල්ප සාකච්ඡා කිරීමට වෑයමක් දරා ඇති හෙයිනි.
    දෙවනුව සාරධර්ම හා සමාජ ආකල්ප මඟින් මිනිසා තුළ පවතින ආකල්ප පිළිබඳ විශ්ලේෂණයක් සිදුකර තිබේ. මිනිසා ක්‍රියාත්මක වන්නේ ආකල්පවලට අනුවය. මානව චර්යාව හැදෑරීමේදී ආකල්ප වැදගත් වන්නේ මේ නිසාය. මේ පරිච්ඡේදය මඟින් ආකල්ප හා සාරධර්මවල පරිවර්තනීය වෙනස පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් කරයි. බෞද්ධ සාරධර්ම විග්‍රහකිරීම මඟින් මානව සමාජය තුළ මිනිස් සබඳතා අර්ථවත් කරගැනීම සඳහා සාරධර්ම භාවිතා වී ඇති ආකාරය පෙන්නුම් කරයි. මිනිසා හුදකලා ජීවියෙකු නොවේ. මිනිසා සමාජ සත්වයෙකි. එබැවින් ආගමික පසුබිම තුළ අර්ථදක්වන සාරධර්ම මානව සමාජය විෂයෙහිම පොදුවිය යුතුය. එසේම මානවයා ජීවියෙකි. බුද්ධිමත් දියුණු ජීවියෙකි. ඒ නිසා මානවයාගේ ජීව විද්‍යාත්මක පසුබිම මනාව අවබෝධ කර ගෙන සිටීම ඉහත කී සියළු කරුණු අවබෝධයට මහත් පිටිවහලක් වේ.
    තෙවනුව ඇත්තේ සංස්කෘතිය හා සන්නිවේදනය යන පරිච්ඡේදයයි. බෞද්ධ කලාව, සාහිත්‍යය, ආයුර්වේදය, පුරා විද්‍යාව බඳු විෂයන්ට අදාළ ලිපි මෙහි දී ඉදිරිපත් කර තිබේ. මේ සියළු දේ අන්තර්ගත වනුයේ සංස්කෘතියටය. සංස්කෘතිය අතිශයින්ම පුළුල් පදයකි. එබැවින් එය කුඩා නිශ්චිත සීමාසහිත අර්ථයකට හකුලා නිසි සේ අර්ථකථනය කර දැක්වීම පවා අපහසුය. කලාව, සාහිත්‍යය, ආගම, අභිචාර විධි ආදී සියල්ල සංස්කෘතියට අයත්ය. සංස්කෘතිය සෑදී ඇත්තේ ඒ සියළු දේ එක්වීමෙනි. එබැවින් සංස්කෘතිය තනි පදයකට හකුලා ඉදිරිපත් කිරීම අපහසුය. නූතන ලෝක‍ය තාක්ෂණය අතින් විශාල දියුණුවක් ලබා ඇත. ඒ තාක්ෂණ දියුණුව අනිවාර්යයෙන්ම මානව සමාජයේ දියුණුව අරමුණුව පැවතිය යුතුය. මේ පරිච්ඡේද අතරට අවසාන වශයෙන් තාක්ෂණය මානව ජීව විද්‍යාව යන කොටස එක් කළේ මේ අරමුණ ශාක්ෂාත් කරගැනීම සඳහාය.
    සිව් වෙනුව විද්‍යාව හා නූතන පසුබිම යන පරිච්ඡේදය දක්නට ලැබේ. ‍මෙහි දී විද්‍යාව යන අර්ථය යටතට නූතන ශුද්ධ විද්‍යා, තාක්ෂණය මෙන්ම මනෝවිද්‍යාවද ගෙන තිබේ. බුදු දහම වඩා අර්ථසම්පන්න වනුයේ මනෝවිද්‍යාත්මක පසුබිම නිසාය. මනෝවිද්‍යාවෙන් තොර බුදු දහම එක් ඇසක් සහිත පුද්ගලයාගේ කටයුතු මෙනි. ආගමික ප්‍රතිපත්ති මනෝ චිකිත්සක ක්‍රමවේදයක් සේ නිවැරදිව භාවිතා කිරීමට පුද්ගලයා තුළ පෙළඹවීමක් ඇතිවනුයේ එහි මනෝවිද්‍යාත්මක පැතිකඩ නිසාය. සංජානනය යන්න මනෝ විද්‍යාවේ අවබෝධය හැඳින්වීම සඳහා ‍යෙදෙන තාක්ෂණ පදයකි. එසේම මනෝවිද්‍යාව තුළ සංජානනය විවිධ අයුරින් පුළුල්ව සාකච්ඡාවට බඳුන්ව ඇත.

    ReplyDelete
  16. මුල් බුදු දහම යටතේ දැක්වෙනුයේ බුදුදහමේ මූලික සංකල්ප ආගමානූකූලව සාකච්ඡාවට බඳුන් කිරීමයි. එසේම මූලික බෞද්ධ ප්‍රතිපත්ති මිනිසුන් විසින් ක්‍රියාත්මක කිරීමේදී සමාජයේදී මිනිසුන් තුළ අත්දකින්නට ලැබෙන අනවබෝධය නිසා ඔවුන් හරි දේ වෙනුවට වැරදි දේ කරන බව පෙනේ. මෙම ලිපි වල අන්තර්ගත වනු‍යේ වැරදි ආකල්ප මත පිහිටා ක්‍රියා කරන අයට නිවැරදි දේ කුමක්දැයි පෙන්වා දී ඔවුන් යහ මඟට ගැනීමට දරණු ලබන උත්සහයකි. එසේම මෙහි දී සෙසු ආගම් සමඟ බුදුදහම තුලනාත්මකව සලකා බලා ඇත. ඊට හේතුව බුදුදහම පමණක් ප්‍රධාන කරගෙන සෙසු ආගම් පහත්කර නොසැලකීමයි. හැකිතාක් මූළධර්මවාදී ස්වරූපයෙන් බැහැරව කිසිදු අන්තයක් නොගෙන, සියළු ආගම්වල අන්තර්ගත සාරධර්ම පිළිබඳ පුළුල් දැක්මකින් යුතුව මානව සමාජය විෂයෙහි ආදේශ කර දක්වා ඇත.
    මගේ මූලික උපාධි අධ්‍යයනය සඳහා පදනම් වූයේ සාරධර්ම හා ප්‍රතිමානයි. එහිදී සාරධර්ම හුදෙක් ආගමික දෘෂ්ටිකෝණයෙන් පරිබාහිරව උපයුක්තව ඇති ආකාරය ගැඹුරින් අධ්‍යයනය කලෙමි. කිසිදු ආගමකට නොරිදවා කිසිවෙකුහට නොපෙළා සාරධර්ම සපිරි සමාජයක් ඇතිවනු දැකීම මගේ අභිප්‍රායයි. එබැවින් විවිධ ආගම් විසින් ස්වකීය දෘෂ්ටිකෝණයට අනුව සිය සාරධර්ම ක්‍රියාත්මක කර මානව වර්ගයාගේ පොදු යහපත තකා සාමූහිකව කටයුතු කළ යුතු ආකාරය පැහැදිලි කිරීමට මෙහි දී ප්‍රයත්න දරා ඇත. මම හොඳ බෞද්ධයෙක්මි. මගේ බෞද්ධකමට අනුව උපතින් ලද දායදයක් ලෙස මා විශ්වාස කරනුයේ කිසිදු ආගමකට පරිභව කිරීමෙන් වැළකීමයි. කෙතරම් ගැඹුරට බුදුදහම උගත්තත් සප්ත මහා සාගරය සේ නිම්හිම් තෙරක් නොපෙනන තරම් බුදුදහමේ පවතින ගැඹුරු බව මට පෙනේ. කෙතරම් උත්සහ කර වුවද එහි කෙළවර දැකිය නොහැකි තරමට එහි අවබෝධයේ වපසරිය පුළුල්ය. යන්නට යන්නට තව යා යුතු දිගු දුරක් පෙනේ. එහිදී මා සලකනුයේ මා තවම ශිෂ්‍යයෙක් ලෙසයි. ඊට හේතුව මා තවම පරම සත්‍ය අවබෝධ කරගෙන නැති නිසයි. එසේ තිබිය දී අන්තවාදී දෘෂ්ටි උපාදානය කර දැඩි සේ ග්‍රහණය වූ දෘෂ්ටිය අනුව සලකා සෙසු සියල්ල අසත්‍ය යැයි කියන්නේ කුමන පදනමකින්ද? මෙකල සර්වඥතා ඥානය සහිත අය නැත. සත්‍යාවබෝධය ඇති අය සිටිත්දැයි නිශ්චිතව නොමදනිමු. මිනිසුන් රැවටීමට රහත් යැයි සෝවාන් යැයි බෝඩ් ලෑලි එල්ලා ගත් අය නම් සිටිය හැක. ලාභ සත්කාර උදර පෝෂණය උදෙසා එබඳු ව්‍යාජ ඇඟවීම් කරනවාට වඩා උදරය තියුණු සැතකින් කපා ගැනීම වඩා හොඳ බව බුදුන් වහන්සේම දේශනා කර ඇත. එහෙත් විදග්ධ සමාජය ඔවුන්ව පිළි නොගනියි. ඔවුන්ට වැඩි තැනක් ඇත්තේ වැඩිදුර අධ්‍යාපනයක් නැති මිනිසුන් අතරෙහිදීය. එබඳු අය ගැන කථා කිරීම පවා නිෂ්ඵල නිසා ඒ ගැන වැඩිදුර විස්තර අනවශ්‍යය.
    මිනිසුන් ආගමික සංස්කාර විධි පැවැත්වීමට වඩාත් යොමුව ඇත. නමුදු ආගමේ හර පද්ධතිය ප්‍රයෝගිව ක්‍රියාත්මක කිරීමට පෙළඹී නොමැත. මට අවශ්‍ය එක් එක් ආගම් අතර යුද වැදීමට නොව පොදුවේ සියළු ආගම්වලට සතුරුකම් කරන සෘණාත්මක ආකල්ප නැමැති පොදු සතුරාට එරෙහිව සටන් වැදීමටයි. එහි බලාපොරොත්තුව එක් ආගමික ඉගැන්වීමක් තහවුරු කිරීමට වඩා පුළුල් වූ අරමුණක් ශාක්ෂාත් කරගැනීමයි. එසේම සෙසු ආගමික ඉගැන්වීම් පරාජය කොට දැමීම පොදු සතුරා ජයග්‍රහණය කරවීමකි. කුමන ආගමික ඉගැන්වීමක් අනුගමනය කරනු ලැබුවත්, හොඳ මනුෂ්‍යයෙකු ලෙස මේ ලොවේ හොඳින් ජීවත්වන්නේ කෙසේදැයි මේ පොතේ විග්‍රහකර දක්වා ඇත. ලොකු මිනිසෙකු වනවාට වඩා හොඳ මිනිසෙකුවීම අපහසු කාර්යයකි. නමුදු සැමදෙනාගේම අභිප්‍රාය විය යුතු වනුයේද එයමය. මේ ග්‍රන්ථයෙන් විග්‍රහවනු‍යේ ඒ අපහසු කාර්යය සාර්ථකව ඉටුකරගත හැකි මඟයි.
    මේ ලොව සාරධර්ම වලින් සපිරි සමාජයක් වීම සඳහා ස්වංක්‍රීයව මිනිසුන් හොඳ වන තුරු බලා සිටිය නොහැක. එබන්ඳක් කෙඳිනකවත් ඉටු නොවේ. අනුසෝතගාමී මාවතේ ගොස් සත්‍යය අවබෝධකරගත නොහැක. එසේ හැකිනම් සිද්ධාර්ථ කුමරුට අභිනිෂ්ක්‍රමණය කොට සා අවුරුද්දක් අධික ලෙස දුෂ්කර ක්‍රියා කිරීමට අවශ්‍ය නොවේ. සිය මාළිගයේ සිටම කාමභෝගීව සිටිමින් සත්‍යය අවබෝධ කර ගන්නට පිළිවන් විය යුතුය. නමුදු එය එසේ නොකළ හැකි බව නොදන්නා කෙනෙකු නොමැත. සත්‍යාවබෝධය සඳහා පළමුව ඒ පුද්ගලයා තුළම පෙළඹවීමක් ඇතිවිය යුතුය. දෙවනුව ඒ පුද්ගලයා අදහනු ලබන ආගම මඟින් ඒ පුද්ගලයා තුළම අනුගමනය කළ යුතු යම් නිශ්චිත වූ ප්‍රතිපත්තියක් ඇති කළ යුතුය. අනතුරුව ඒ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම නිසා එම ආගමේ දැක්වෙන පරමාර්ථ ශාක්ෂාත් කිරීමට පුද්ගලයා පොළඹවාගත යුතුය. බුදුදහමේ නම් නිවන් පරමාර්ථය ශාක්ෂාත් කරගැනීම සඳහා මේ ආකාරයට පුද්ගලයා පොළඹවා තිබේ.

    ReplyDelete
  17. සෑම ආගමකම මූලික ආගමික ලියවිලි රචනා කිරීම සඳහා භාවිතා කර ඇත්තේ දැනට මළ භාෂා වශයෙන් සලකන මිනිසුන් අතර ව්‍යවහාර නොවන භාවිතාවෙන් තොරවූ භාෂාය. නමුදු ඒ ආගම්වල සමාරම්භක යුගවල දී ඒ මළ භාෂා ජීවමාන භාෂා තත්වයෙන් පැවතී ති‍බේ. බුදුදහමේ නම් පාලි භාෂාව ත්‍රිපිටක ග්‍රන්ථ රචනා කිරීම සඳහා භාවිතා කර තිබේ. බුදුරදුන් ජීවමාන කල ව්‍යවහාර වූ භාෂාවක් වූ පාලි භාෂාව මගධයේ ව්‍යවහාර වූ ප්‍රාදේශීය භාෂාවකි. එසේම ඒ යුගයේදී එය ලිඛින භාෂාවක් නොවීය. ඒ හේතුව නිසා අද ද පාලි භාෂාවටම අනන්‍ය වූ අකුරු සහිත හෝඩියක් නැත. පාලි භාෂාවේ ඇති ශබ්ද වෙනත් ඕනෑම භාෂාවක වර්ණ මාළාව භාවිතා කර ලියා දැක්විය හැක. අවශ්‍ය නම් ඉංග්‍රීසි භාෂාවෙන් වුවද ලියා දැක්විය හැක. වෙනත් ආගම්වල ද මෙලෙස ආගමික ලියවිලි රචනා කිරීම සඳහා දැනට ව්‍යවහාරයේ නැති මළ භාෂා භාවිතා වී තිබේ. එයින් ආගමික ලියවිලි ආගන්තුක මතවාද වලින් ආරක්ෂා ද වේ. මක්නිසාද යත්, ආගම හැදෑරීමට නම්, මහත් වෙහෙසක් දරා ඒ මළ භාෂාව ප්‍රගුණ කළ යුතුම වන නිසාය. එවිට නියම අවශ්‍යතාව ඇති තැනැත්තාටම මිස, එයට හානි කරන අයට ඊට අතපෙවීමට ඉඩ නොලැබේ. එසේම මළ භාෂාවලින් ලියැවී ඇති ආගමික ලියැවිලිවල දැක්වෙන ආගමික ඉගැන්වීම් හා ප්‍රතිපත්ති සකස්ව ඇත්තේ මානව සමාජයේ සාරධර්ම ආරක්ෂා කර ගැනීම සඳහාත්, සාරධර්ම ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහාත්ය.
    මූල ග්‍රන්ථ ලෙස සැලකෙන මෙබඳු ග්‍රන්ථ සෑම ආගමකම ඇත. එකී ආගම්වල හරය ආරක්ෂා වී ඇත්තේ එම ලියවිලි තුළය. එය මළ භාෂාවලින් ලියා ඇති නිසා වැඩිදෙනෙකුට එය කියවා ගත නොහැක. මේ නිසා මිනිසුන් බොහෝ විට කරන්නේ ආගම නමින් කවුරුන් හෝ පවසන මොනවා හෝ දෙයක් වැඩි විමසීමකින් තොරව එක්වරම බාරගෙන ක්‍රියා කරන්නටය. මේ නිසා ආගම නමින් සිය අත්තනෝමතිය සමාජගත කරන්නන් මේ සමාජය තුළ බහුලවී ඇති බවක්ද පෙනෙන්නට තිබේ. එසේම අසීරුවෙන් ප්‍රතිපත්ති ආරක්ෂා කරනවාට වඩා කුමක් හෝ අභිචාර විධි කිහිපයකට ආගමික පිළිවෙත ලඝු කිරීමෙන් පමණක් සෑහීමකට පත්වීමට දැන් බොහෝ පිරිසක් හුරුව සිටිති. බාහිර සමාජයේ මිනිසුන් බොහෝමයක්ම ආගමික පිළිවෙත අනුගමනය කිරීම ලෙස අද සිතා ගෙන සිටිනුයේ බාහිර අභිචාර විධි, වත් පිළිවෙත්, පුද පූජා, ආමිෂ පූජාදිය කරමින් සිත සතුටුකරවා ගැනීමයි. ඒ සඳහා උඩගෙඩිදී ඉන් විවිධ ලාභ ප්‍රයෝජන අපේක්ෂාකරන පිරිසක්ද බෝවී සිටී. ආගමික පිළිවෙත ආමිෂ පූජාදියට පමණක් සීමාකිරීමත් සමඟ මිනිසුන් බොහෝවිට ප්‍රතිපත්තියෙන් ඈත්වී යනු පෙනේ. ආගමික ප්‍රතිපත්තිය අනුගමනය කිරීම බොහෝ දුෂ්කරය. මගේ මේ ලිපි මඟින් මා පෙන්වාදීමට වෑයම් කළේ ඒ අභිචාර විධි, ආමිෂ පූජාදිය නැමැති බාහිර සැරසිලිවලට වඩා ආගමේ හරය වූ ප්‍රතිපත්තිය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම පිළිබඳවයි.
    බුදුදහමට අනුව නම්, මාර්ගඵල අවබෝධයෙන් නිර්වාණය ශාක්ෂාත් කර ගැනීමට බාහිර ආමිෂ පූජාවලින් පමණක් නොහැකිය. නමුදු බාහිර සමාජයේ අපට දක්නට ලැබෙන බොහෝ මිනිසුන් තුළ ඇත්තේ අභිචාර, පුද පූජා, ආගමික සංස්කාර විධි පැවැත්වීමට පමණක් සීමා වූ ආගම් ඇදහීමකි. ප්‍රතිපත්තිපූජාව ආමිෂ පූජාවට වඩා වැදගත්වනුයේ ආගමේ හරය අවබෝධ කර ගැනීමට ලැබෙනුයේ එමඟින් පමණක් බැවිනි. නමුදු අද සමාජය ඉතා වේගයෙන් ප්‍රතිපත්තියෙන් ඈත් වෙමින් ආමිෂයට නැඹුරුව කටයුතු කිරීම මහත් අවාසනාවන්ත තත්වයකි. මිනිසුන් තුළ විද්‍යමානව ඇති මෙබඳු වැරදි නිවැරදිකොට ඔවුන්ට යායුතු නිසි මඟ පෙන්වා දීමට මේ පරිච්ඡේදයට අයත් ලිපි මඟින් පරිශ්‍රමයක් ගෙන ඇත්තෙමි.
    මගේ පොතේ සිව්වන පරිච්ඡේදය විද්‍යාව හා නූතනත්වය යන්නයි. මෙහි විද්‍යාව යටතට බටහිර ශුද්ධ විද්‍යා මෙන්ම මනෝවිද්‍යාවද ගෙන ඇත. ඉන් බෞද්ධ මනෝවිද්‍යාත්මත පසුබිම විග්‍රහ කිරීමට පරිශ්‍රමයක් ගෙන ඇත්තෙමි. මෙහි දී මා මූලිකත්වය ලබා දී ඇත්තේ මනෝවිද්‍යාවට සම්බන්ධ බටහිර මතවාද හා බෞද්ධ මනෝවිද්‍යා සිද්ධාන්ත ඔස්සේ පුද්ගල මනස ගැඹුරින් විශ්ලේෂණය කර දැක්වීමටය. ඒ අනුව මා වඩාත් අවධානය යොමුකර ඇත්තේ විදර්ශනා භාවනාව වැඩීමේදී මනස ක්‍රියාත්මක වන ආකාරය මනෝවිද්‍යාත්මකව අවබෝධකර ගැනීමට කිසියම් පරිශ්‍රමයක් දැරීමටයි. විදර්ශනා භාවනාව සම්බන්ධයෙන් මේ පරිච්ඡේදයේ ලිපි කීපයක්ම ඇත. විදර්ශනා භාවනාව හා සප්ත විශුද්ධිය පිළිබඳ විශ්ලේෂණය කිරීමට මෙහිදී වෑයම් කර ඇත. එහි යෙදීමේදී මානසික ක්‍රියාකාරීත්වය හැදෑරීම වඩාත් චිත්තාකර්ශණීයය. මානව මනස පුහුදුන් බවේ සිට එම පුහුදුන් බව ඉක්මවන මට්ටම තුළ වෙනස් වෙනුයේ කුමන ආකාරයෙන්දැයි සොයා බැලීම කලක සිට මගේ දැඩි අවධානයට ලක් වූ කරුණක්ව පැවතින.

    ReplyDelete
  18. මම ද පෞද්ගලිකව විදර්ශනා භාවනාව ප්‍රගුණ කිරීමට ඉතා ප්‍රිය කරන්නෙක්මි. එයට හේතුව විදර්ශනා භාවනාව ප්‍රඥා භාවනාවක් වීමයි. අනෙක විදර්ශනා භාවනාව ප්‍රගුණ කිරීම නිසා හුදෙක් බුද්ධිමය පැතිකඩ වැඩෙනවා විනා සමථ භාවනා වැඩීම මෙන් නොයෙක් ලෞකික කාර්යය විදර්ශනා භාවනාව වැඩීමෙන් ඉටු කරගත නොහැකි බැවිනි. එබැවින් විදර්ශනා භාවනා වැඩීමේදී සිත නොමඟ යනවා අඩුය. එසේ ගියද එබඳු අවස්ථා වහාම සිහියට හා එකඟ වූ සිතට වැටහේ. නමුදු මේ පොතෙන් මම විදර්ශනා භාවනාව වැඩීම සම්බන්ධව ගුරුහරුකම් ලබාදීමට හෝ භාවනාව උගන්වන්නට වෑයම් නොකරමි. හේතුව විදර්ශනා භාවනාව ඉතා ගැඹුරු භාවනා ක්‍රමයක් බැවිනි. එය වැඩීමේ විවිධ ක්‍රම ඇත. එක් එක් පුද්ගලයාගේ චරිතය අනුව යෙදෙන ක්‍රමය ද වෙනස් වේ. එය මනෝචිකිත්සක ප්‍රතිකාරයකට සමානය. රෝගියා පරීක්ෂා නොකර රෝග නිධානය සඳහා සුදුසු ඖෂධ නිර්දේශ නොකළ හැකිය. එසේම පුද්ගලයාගේ ආකල්ප, චර්යා, ආවේදන හඳුනා නොගෙන නිර්දේශ කරන භාවනා ක්‍රමවලින්ද එතරම් ප්‍රයෝජනයක් ගත නොහැක. එසේම එය පොත පතින් පීනන්නට උගන්වනවා මෙන් නිරර්ථක ක්‍රියාවකි. විදර්ශනා භාවනා වැඩීමට පුරුදු පුහුණුවීමේදී එය එක් වරටම නිවැරදිව බොහෝ දෙනෙකුට කළ නොහැක. පුහුණුව අතරතුරේදී සිදුවන අත්වැරදීම්, අතපසුවීම් භාවනා පුහුණුවේම කොටසකි. එබඳු අත්දැකීම් පසුකලකදී භාවනාවේ ප්‍රවීණයෙකු වීමට ඉතාමත් වැදගත්වේ.
    යටි සිතේ බලාපොරොත්තු හා ආශා නොමැතිවීම භාවනාව සාර්ථකවීමට උපකාරයකි. ධ්‍යාන, අභිඥා මාර්ගඵල පිළිබඳව හෝ ඇළුම් කිරීම නුසුදුසුය. වලක වැටීම වුව ද මොළයට ආහාරයකි යනුවෙන් කියමනක් ඇත. විදර්ශනා භාවනා පුහුණුව සම්බන්ධයෙන්ද එය එසේම වලංගුවේ. විදර්ශනා භාවනාවේදී කරනුයේ අප ඇළුම්කරන දේ පිළිබඳව අවබෝධය මඟින් සිත කළකරවීමයි. ඊට බාධා කරන දේ යටි සිතේ ඇතොත් භාවනාව සාර්ථක කරගැනීම අපහසුය. තමාගේම යටි සිත මඟින් ඇඳ දැමිය හැකි බොරු වලවල්වල නොවැටී භාවනාව දියුණු කරගත හැක්කේ කළාතුරකින් අයෙකුටය. විදර්ශනා භාවනාව ප්‍රගුණ කිරීමේදී විවිධ භාවනා ගුරුකුල වල විවිධ භාවනා අභ්‍යාස ක්‍රම මහත් රාශියක් ඇත. අතීතයේ දී කැලෑබඳව තවුස් දිවියක් ගෙවමින් විදර්ශනා භාවනා ක්‍රම ප්‍රගුණ කළ සුවිශේෂී භික්ෂුන් වහන්සේලා කොටසක් සිටි බවට ‍පුරා විද්‍යාත්මක සාධක ඇත. උන්වහන්සේලා විසින් භාවනා අභ්‍යාස ප්‍රගුණ කළ විහාරාම පද්ධතිය වාස්තු විද්‍යාත්මකව පුරාණ ලක්දිව එතෙක් හමු වූ සුවිශේෂීතම ගොඩනැඟිලි ව්‍යුහය වේ. මේවා සිංහලෙන් පියන් ගල් නමින්ද පාලි භාෂාවෙන් පධාන ඝර නමින්ද හැඳින් වී ඇති බවට පුරා විද්‍යාත්මක සාධක හමුවී තිබේ. අතීතයේ පැවති විවිධ ගුරුකුල වල විදර්ශනා භාවනා ක්‍රම සියල්ලම අත්හදා බලා වඩා ඵලදායී ක්‍රමය පැවසීමට වෙහෙස ගැනීම දුෂ්කරය. තනි පුද්ගලයෙකුට කළ හැක්කක් ද නොවේ. තමාගේ ක්‍රමය නිවැරදි යැයි සිතා ගෙන එයම දෘෂ්ටි ග්‍රහණය කරගෙන සෙසු ක්‍රම හෙලා දැකීමද වැරදිය. ගුරුවරයෙකුවීමට ප්‍රයත්න දරනවාට වඩා එය නිවැරදිව පුරුදු පුහුණු වන නිරතුරුව අභ්‍යාස කරන ශිෂ්‍යයෙකුවීම වඩා ඵලදායී වේ.
    විද්‍යාව හා නූතනත්වය යන සිව්වන පරිච්ඡේදය අයත් මනෝ විද්‍යාත්මක පසුතලය යටතේ සාකච්ඡා කර ඇත්තේ බුදුදහම නිසා පුද්ගලයෙකු තුළ ගොඩ නැ‍ඟෙන සාරධර්ම මනෝ විද්‍යාත්මකව බලපානු ලබන ආකාරය වේ. මානවයා තුළ දක්නට ලැබෙන සංජානනය ලෙස හැඳින්වෙන්නේ අවබෝධ ශක්තියයි. සංජානනය වර්ග දෙකකට බෙදේ. එනම් ඉන්ද්‍රීය සංජානනය හා අතීන්ද්‍රීය සංජානනය යනුවෙනි. බුදුදහම මේ ඉන්ද්‍රීය සංජානනය දකින්නේ පඤ්චේන්ද්‍රීය වශයෙන් බාහිර වස්තු වස්තූන් අවබෝධ කර ගැනීමේ ක්‍රියවළිය තුළ දක්නට ලැබෙන දෙයක් වශයෙනි. එසේම මෙහිදී ලැබෙන දැනුම සම්පූර්ණ දැනුමක් නොවේ. මෙය අසම්පූර්ණය. එසේම තාවකාලිකය. පුද්ගල චර්යාව සංස්කරණය කිරීමට සෘජුවම දායක නොවේ. එසේම ඉන්ද්‍රීය සංජානනය බුදුදහම අනුව විග්‍රහ වනුයේ ප්‍රත්‍යක්ෂ අවබෝධය ලෙසයි. බුදුදහම අනුව නිවන් අවබෝධයේ දී පුද්ගලයෙකු තුළ ඇති වනුයේ මේ අතීන්ද්‍රීය ඥානයයි.

    ReplyDelete
  19. එසේම සෘද්ධිවිධ ප්‍රාතිහාර්ය හා ධ්‍යාන අභිඥා වර්ධනය වනුයේ අතීන්ද්‍රීය සංජානනය ඇසු‍රිනි. නමුදු මේ හැම ලෞකික ශක්ති විශේෂයක්ම තාවකාලිකය. නමුදු ප්‍රඥාව ලෝකෝත්තරය. එය වරක් චිත්ත සන්තානයේ උපන් පසුව යළි නැවත වරක් අභාවයට නොයයි. මාර්ගඵල ප්‍රඥාව මේ ආකාරය. මාර්ගඵල ප්‍රඥාව මඟින් නිර්වාණාවබෝධය ලැබීම අයත්වනුයේද අතීන්ද්‍රීය සංජානනයටය. බටහිර මනෝවිද්‍යාවේ මේ තරම් සූක්ෂම ලෙස අතීන්ද්‍රීය සංජානනය විශ්ලේෂණය කර නොමැත. බටහිර මනෝවිද්‍යාව රෝගී චර්යාව නි‍‍රෝගී චර්යාව දක්වා නිවැරදි කිරීම තෙක් පමණක් රැඳී පවතී. මේ නිරෝගී චර්යාව වනාහී පුහුදුන් පුද්ගලයින්ගේ මානසික මට්ටමයි. බටහිර ‍මනෝවිද්‍යාව උපරිමය වශයෙන් සලකනු ලබනුයේ මේ මානසික මට්ටමයි. නමුදු බෞද්ධ මනෝවිද්‍යාව ආරම්භවනුයේ මේ නීරෝගී සාමාන්‍ය පුද්ගලයෙකු තුළ දක්නට ලැබෙන මානසික මට්ටමෙනි. එහි උපරිම සම්මා සම්බුද්ධ තලයෙහි දැක්වෙන මානසික මට්ටමයි. අර්හත්ඵලය දක්වා ථේරවාදී බුදුදහම අනුව උපරිම අවස්ථාව දැක්විය හැක. බෞද්ධ මනෝවිද්‍යාව අනුව සෑම පුහුදුන් පුද්ගලයෙකුම උමතු බවට පත්වීමේ සම්භාවිතාව සහිත බව දක්වා තිබේ. මක්නිසාද යත් රාග,ද්වේෂ හා මෝහ ක්ලේශ සංකීර්ණවල ක්‍රියාකාරීත්වය දුරු නොකළ නිසාය. නීරෝගී පුද්ගලයෙකු ලෙස සැලකුවද ඕනෑම මොහොතක මේ කෙලෙස්වල ක්‍රියාකාරීත්වය නිසා සාමාන්‍ය පුද්ගලයා උමතුවූවෙකු ලෙස හැසිරිය හැකි බැවිනි. මේ අර්ථදැක්වීම නිවැරදිබව වැටහෙන්නේ සාමාන්‍ය‍ සමාජයේ වෙසෙන උමතු නොවූ පුද්ගලයින් සේ සැලකෙන අයගේ වුවද ඇතැම් දෛනික චර්යා රටා පිරීක්සීමෙනි.
    ආර්ය විනය අනුව ගීතය හැඬීමකට සමාන බවත්, නර්තනය උමතුව කරන දැඟලිල්ලකට සමාන බවත් බුදුරදුන් දක්වා ඇත. මෙයින් පෙනෙනුයේ සාමාන්‍ය සමාජයේදී නිවැරදි චර්යාවක් සේ පෙනෙන දේ ආර්ය විනයට අනුව රෝගී චර්යාවකට සමානව පෙනෙන බවයි. ඒ අනුව ආර්ය විනයට එකඟව ඉන් අපේක්ෂිත වූ නිරෝගී චර්යාව කෙතරම් උසස් මට්ටම පවතිනවාදැයි සිතාගත හැක. බටහිර මනෝවිද්‍යා සිද්ධාන්තවලට අනුව මිනිස් මනස මෙතරම් සුපිරිසිදු තත්වයකට පත්කළ හැකි යැයි පිළිගන්නේ නැත. එනිසා එයට අනුව රාග,‍ද්වේෂ හා මෝහ යන කෙලෙස් තාවකාලිකව යටපත්ව මිනිස් මනසේ නොකැළඹුනු නිශ්චල අවස්ථාව මානසික නීරෝගීතාවේ උපරිමය ලෙස හඳුන්වා ඇත. එය බෞද්ධ මනෝවිද්‍යාවේ අර්ථදැක්වෙන රාග,ද්වේෂ හා මෝහ ආදියෙන් තොර වූ පරම පවිත්‍ර අවස්ථාව නොව නීරෝගී පුද්ගලයෙකු තුළ සාමාන්‍යයෙන් පවතින රාග,ද්වේෂ හා මෝහ යටපත් වූ අවස්ථාව වේ. බටහිර මනෝවිද්‍යාව විදර්ශනා භාවනා ක්‍රමය නොහඳුනයි. රාග,ද්වේෂ හා මෝහ අවස්ථා මනසින් මුළුවමින්ම දුරුකළ හැක්කේ විදර්ශනා භාවනා වැඩීමෙන් පමණි.
    විදර්ශනා භාවනාව මඟින් අතින්ද්‍රීය ප්‍රත්‍යක්ෂයේ උපරීම අවස්ථාව දක්වා මිනිස් මනස පවිත්‍ර කරවයි. මෙම පරිච්ඡේදයේ දැක්වෙන ලිපිවල අන්තර්ගත හරය වනුයේ මෙකී සුපිරිසිදු මානසික තත්වය බටහිර මනෝ විශ්ලේෂණ සමඟ තුලනාත්මකව සාකච්ඡාවට බඳුන් කිරීමයි. එතුළින් බෞද්ධ මනෝවිද්‍යාවේ උත්කෘෂ්ට ස්වභාවය පැහැදිලි කර දී තිබේ. බෞද්ධ මනෝවිද්‍යාවේ ගැබ්වන සුවිශේෂී වැදගත්කම වනුයේ කෙලෙස් යටපත් කිරීමකින් තොරව සමුච්ඡේද ප්‍රහාණය කළහැකි ක්‍රමය විදර්ශනා භාවනාව ඔස්සේ සාර්ථකව ඉදිරිපත් කර ඇති බවයි. මේ නිසා ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ සිත් තුළ කෙලෙස් ඇති නැති වන ස්වභාවය අනුව තමාගේ විදර්ශනා භාවනා වැඩීම සාර්ථක මට්ටමට පැමිණ ඇත්දැයි තමාටම ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකගත හැක.
    සාරධර්ම හා සමාජ ආකල්ප ලෙස දැක්වෙන මෙහි දෙවන පරිච්ඡේදයට සාරධර්ම හා මානව ආකල්ප පිළිබඳ ශාස්ත්‍රීය කරුණු අදාළය. මෙහි සාරධර්ම හා සමාජ විද්‍යාවට අයත් වනුයේ සමාජ සංවිධානය (Social Organization) සම්බන්ධ කරුණුය. සමාජයේ මානව සබඳතා වැඩිදියුණු වීමට සාරධර්ම මහත් මෙහෙයක් ඉටුකරයි. සරධර්ම ආගමට අනුව සංස්කෘතියට අනුව වෙනස්වන බව පැහැදිලිය. සදාචාරය හෝ සාරධර්ම විග්‍රහකර දැක්විය නොහැක. නමුදු මනුෂ්‍යයා තුළ විද්‍යමාන වන හොඳ ගති සිරිත් පුරුදු හා හැසිරීම් රටා ආදිය කලක් ගතවන විට සමාජ සම්මතයක් බවට පත්වේ. මේ සමාජ සම්මතයන් පසුකලක දී ඒ සමාජයේ පිළිගත් සාරධර්ම බවට පත්වේ. මේ නිසා සදාචාරාත්මක හා ආචාර විද්‍යාත්මක කරුණු ද සාරධර්ම අතර තිබිය හැක

    ReplyDelete
  20. සමාජ සාරධර්ම නිතරම යහපත් ඒවා ද නොවේ. ඇතැම් ජන කොටස් හා සමාජ අතර පවත්නා සාරධර්ම අතර සදාචාර විරෝධී දේ ද තිබිය හැක. සදාචාර විරෝධී ‍දේ මනුෂ්‍ය ධර්මයට පටහැනිය. ඒවා ප්‍රතික්ෂේප කිරීම එවිට සදාචාරාත්මක වේ. මෙහිදී මතක තබා ගත යුත්තක් නම් සදාචාරාත්මක වන සාරධර්ම පමණක් සාර්ථක සමාජ සබඳතා සඳහා යොග්‍ය සේ නිර්දේශ කළ හැකිය යන්නයි. මේ ලිපි පෙළ මඟින් විස්තරකර තිබෙනුයේ ඉහත දක්වන ලද සදාචාර විරෝධී ව්‍යාජ සාරධර්ම අනුගමනය කිරීමෙන් වැළකීමේ වැදගත්කම හා සදාචාරයට එකඟ සාරධර්ම අනුගමනය කිරීමේ වැදගත්කමයි. මේ හැම දේම සිදුවනුයේ මානව ආකල්පවල පවතින වෙනස්කම් නිසාය.
    මානව ජීවන ක්‍රම, සමාජ සබඳතා පැවැත්වීමේදී මිනිසුන් තුළ දක්නට ලැබෙන සාවද්‍ය දෘෂ්ටි නිවැරදි කරගැනීමේ අභිලාෂය ඇතිකරවීම මෙම ලිපිවල මුඛ්‍යාර්ථයයි. එසේම වැරදි චර්යා සමාජ දේහය කෙරෙහි බලපානු ලබන අයහපත් ආකාරය ගැඹුරින් විශ්ලේෂණය කිරීම ද මෙයින් ඉටු වී තිබේ. එමඟින් මිනිසුන්ට තමාගේ ක්‍රියා දෙස පසු විපරමක් කිරීමට අවස්ථාව සලසා දී තිබේ. ඒ තමා‍ටම නිවැරදිවීමට අවස්ථාව සැලසාදීම සඳහාය. සමාජ සබඳතා සාර්ථක කරගැනීමට නම් සමාජයේ සියළු සමාජ සංස්ථා අතර මනා සැබඳියාවක් පැවතිය යුතුය. එක් එක් සමාජ සංස්ථා අතර මානුෂික බැඳීමක් පැවතිය යුතුය. නැතහොත් සිදුවනුයේ එක් පක්ෂයක් අසාධාරණයට ලක්වීමයි. සමාජය මෙසේ විවිධ සමාජ සංස්ථා හා විවිධ මානව කාණ්ඩ අසාධාරණයට ලක්වනු පෙනේ. ඔවුන් පිළිබඳව විචාර පූර්වකව සාකච්ඡා කිරීමට මේ ලිපි පෙළ මඟින් පරිශ්‍රමයක් ගෙන තිබේ.
    සමාජයක් සංවිධිතව පවත්වා ගැනීමට නම් සමාජ ස්ථාරායනය හොඳ අවබෝධයක් ඇතිව ක්‍රියා කිරීම වැදගත්ය. සමාජ සාරධර්ම පුද්ගල සාරධර්මවලට වඩා වැදගත්ය. මක්නිසාද පුද්ගල සාරධර්ම සමාජයෙන් වියුක්තව අර්ථසම්පන්න නොවන හෙයිනි. හුදකලා පුද්ගලයෙකුට සාරධර්ම තිබුණත්, නොතිබුණත් එහි වෙනසක් නොමැත. සමාජ සබඳතා පැවැත්වීමේ ඒ සබඳතාවල හැඩය වඩා නිවැරදි හා හෘදයාංගම ස්වභාවයක් පත්කිරීම සඳහා සාරධර්ම අවශ්‍ය වේ. මේ නිසා සාරධර්මවල මූලික අවස්ථාව සමාජ සාරධර්ම ලෙස උපකල්පනය කිරීම නිවැරදිය. සාරධර්ම සමාජ මැලියමක් (Social Binder) වනුයේ ද එහෙයිනි. එසේම සමාජ සාරධර්ම ක්‍රියාවට නැඟීම සඳහා පුද්ගල සාරධර්ම සුරක්ෂිත කිරීම ද අවශ්‍යය. සමාජ සාරධර්ම සුරැකිය හැක්කේ පුද්ගල සාරධර්ම සුරැකීම මඟිනි. එනිසා සමාජ හා පුද්ගල සාරධර්ම අතර මනා සබඳතාවක් පවතින බව වටහාගත යුතුය. සමාජ සාරධර්ම ක්‍රියාවට නැඟීම ඇරඹෙනුයේ පුද්ගල සාරධර්ම සංවර්ධනය වී නිෂ්ටාවට පත් වූ තැනිනි. මේ නිසා පුද්ගල සාරධර්ම වලට වඩා මූලික තැනක් සමාජ සාරධර්මවලට අනිවාර්යයෙන්ම හිමි වේ.
    සමාජ නායකත්වයට පත් වූ බොහෝ සමාජ සේවකයින්, දාර්ශනිකයින්, ආගමික කතුවරුන්, පුද්ගල පරමාදර්ශ අතික්‍රමණය කර සමාජ පරමාදර්ශ ක්‍රියාවට නැඟීමට පුරෝගාමී වූවෝ වෙති. මෙහිදී ථේරවාදී මූලාශ්‍ර මෙන්ම නිකායාන්තර මූලාශ්‍ර පරිශීලනයෙන් ලත් දැනුමද, මහෝපකාරී විය. මා විශ්ව විද්‍යාලයේ දී ලැබූ දැනුම ද, පාලි පෙල මූලාශ්‍රවලටම පමණක් සීමා නොවූ සමයාන්තර දැනුමක් වීම මේ ලිපි පෙල සම්පාදනයේ දී මහත් පිටුබලයක් විය. මෙහි සඳහන් ඇතැම් ලිපිවල උධෘත නාම වලින් පවා මේ ආභාෂය පාඨකයින්ට හොඳින් දැනෙනු ඇත.

    ReplyDelete
  21. එබඳු මාතෘකාවල වචනාර්ථය ඉක්මවා ගිය සුවිශේෂී ගැඹුරු දර්ශනයක් මතුවනු ඇත. එහි ඇති මේ වෙනස මතුපිටට පමණක් සීමා නොවන අන්තර්ගතය දක්වා විහිද ගිය ගැඹුරු වෙනසකි. මෙහි තෙවන පරිච්ඡේදයට අදාළ ලිපි කියවාගෙන යන විට ඇතැම් අවස්ථාවල දී මේ සඳහන් වනුයේ තමන් වෙහෙසගෙන සෙවූ තමාට ඇවැසිම කරුණු බව වැටහෙන්නට පටන් ගනී. පාඨකයාගේ අත්දැකීම්වල වපසරියට වඩාත් ළංවීමට මෙහිදී වෙහෙස ගෙන තිබේ. පාඨකයා හා වඩාත් සමීප වූ තරමට ආකල්ප බෙදාහදා ගැනීමේ පහසුව වැඩි වේ. සමාජයේ බොහෝ සෘණාත්මක ආකල්ප පවතී. මේ ලිපි එකතුව මඟින් ඒ සෑම සෘණාත්මක ආකල්පයක්ම වෙනස්කිරීම උගහටය. නමුදු ‍එසේ වුවත්, හැකිතාක් දුරට වෑයම් කලේ එබඳුදේ ඉටුකිරීමටය. සාමාන්‍යයෙන් රචකයින් බොහෝවිට කරන්නේ පාඨකයා කැමති දේ ඔවුන්ට ලබාදීමය. එය ඉල්ලුමට සැපයුම යන ආර්ථික විද්‍යා න්‍යායයට හොඳින්ම ගැලපේ. නමුදු මෙහි දී ප්‍රයත්න දරා ඇත්තේ නිවැරදි දේ දීමටය. නොදැන වසක් විසක් ඉල්ලුවද, ඒවා ලබා දී සතුටට පත්කර ආර්ථික වාසි ලැබීමට මට අවශ්‍ය නැත. මේ ලිපිවලට පදනම් වූ යම් යම් කරුණු ඇතැම් විට තමාගේ ජීවිතයෙන්ම දැන ඉගෙනීමට වඩා මෙබඳු ග්‍රන්ථයකින් දැනගැනීම මතුවට ඇතිවිය හැකි විවිධ කරදර දුක් කම්කටොළු වලින් ආරක්ෂාවීමට කදිම මඟක් ද විය හැක.
    විද්‍යාව හා නූතනත්වය නැමැති සිව්වන පරිච්ඡේදය මඟින් නිරූපණය කිරීමට උත්සහ දරා ඇත්තේ නවීන තාක්ෂණය, මානව විද්‍යාව හා ජීව විද්‍යාත්මක පසුබිම මඟින් මිනිස් චෛතසික මට්ටමේ ඇතිවන දියුණවයි. ආධ්‍යාත්මික දියුණුව මානව සාරධර්ම පක්ෂයෙන් කෙතරම් පොහොසත්ව තිබිය යුතුදැයි යන කරුණයි. නූතන තාක්ෂණය වර්තමානයේ බොහෝ සේ දියුණුව ඇත. ඇනලොග් තාක්ෂණය පරදා ඩිජිටල් තාක්ෂණය පෙරට විත් තිබූ කාල වකවානුවක් තිබිණි. වර්තමානයේ ඩිජිටල් යුගය අබිබවා නැනෝ තාක්ෂණය දියුණුවට පත්ව ඇත. මේ යුගයේ නිපදවන බොහෝ තාක්ෂණික උපකරණ නැනෝ තාක්ෂණය භාවිතා කර නිපදවූ ඒවාය. මිනිස් මොළය භෞතික පක්ෂයෙන් කෙතරම් සුවිශාල දියුණුවක් අත්පත් කරගනු ලැබූවත් ඊට සාපේක්ෂකව සාරධර්ම අතින් එතරම් ඉදිරියට ගොස් නොමැති බව පෙන්වා දීම සඳහා මේ පරිච්ඡේදයට අයත් ලිපි මඟින් උත්සහයක් දරා ඇත.
    නූතන තාක්ෂණික දියුණුව මානව වර්ගයාගේ අභිවෘද්ධිය පිණිස විය යුතුය. එසේ නොවුනු විට මානව වර්ගයා දියුණු තාක්ෂණය නිසාම පිරිහීමට පත් වේ. මොළය ආකල්පවලින් දියුණු නොකර තාක්ෂණය ලබාදීමෙන් කිසිදු ඵලක් නොමැත. වර්තමානයේ තාක්ෂණික දියුණුව නිසාම මානව සමාජයේ ඇතිවී තිබෙන බොහෝ ප්‍රශ්නවලට හේතුව එයයි. නූතන තරඟකාරී වාණිජ අර්ථ ක්‍රමය නිසාම තුරඟතරඟයට වැටී ඉවක් බවක් නොමැතිව හැල්මේ දුවන දියුණු තාක්ෂණික උපකරණ මානව සමාජයේ පරිහරණය සඳහා ලබා දේ. එය වඳුරාට දැලි පිහිය ලැබුණාක් හා සමානය. තාක්ෂණය භාවිතා කර සිදුකරන බොහෝ අකටයුතුකම් පහසුවෙන් නතර කරන්නට නොහැකිව ඇත්තේ මේ හේතුව නිසාය. මේ පරිච්ඡේදය මඟින් සාකච්ඡා කෙරෙනුයේ තාක්ෂණයට මිනිසා ගොදුරක් වීම නිසා බිඳ වැටෙන සාරධර්ම පැතිකඩ පිළිබදවය.

    ReplyDelete
  22. මානව විද්‍යාව යනු සමාජ විද්‍යාවේම තවත් එක් පැතිකඩකි. නමුත් මානව විද්‍යාව අද ජෛව විද්‍යාත්මක සාධක උපයෝගී කරගනිමින් බොහෝ සේ සංවර්ධනය පත් වූ විෂයක් බවට පත් වී ඇත. මෙයින් අධ්‍යයනය කෙරෙන්නේ මිනිසාගේ ජෛව විද්‍යාත්මක චර්යාව, සංස්කෘතික දැනුම, පුරා විද්‍යාත්මක ලක්ෂණ යනාදී එක් එක් කේෂ්ත්‍රවල හැසිරීම් එකම කේෂ්ත්‍රයකට ගෙන සාකච්ඡාවට බඳුන් කිරීමයි. මානවයා ද තවත් එක් ජීවියෙකි. එම නිසා මිනිසාට ඇත්තේ ද තවත් මෙ‍ලොව සිටින අනෙක් සෙසු ජීවීන්ට ඇති ආකාරයේ සමාන වූ ජීවිත නිදහසක් පමණි. බෞද්ධ මානව විද්‍යාව මිනිසා අර්ථකථනය කරනු ලබන්නේ ඒ ආකාරයෙනි. මේ පරිච්ඡේදයේ දී පෙල ගස්වා ඇති ලිපි පෙල මඟින් ඉදිරිපත් වෙනුයේ මානවයා තුළ දක්නට ලැබෙන මානව විද්‍යාත්මක සාධක හා ලක්ෂණ පිළිබඳව විචාර පූර්වක පැහිදිලි කිරීමක් සිදුකිරීමයි. මානව විද්‍යාවේ විවිධ පැතිකඩ ඇත. වර්තමානයේ මානව විද්‍යාව මෙතරම් දියුණුවීමට හේතුව පුරා විද්‍යාව හා ජීව විද්‍යාව දියුණුවීම සමඟම ඒවායේ ආධාරය ද මානව විද්‍යාවට ලැබීමයි. අනෙක් අතට දියුණු තාක්ෂණික ක්‍රමවේද මඟින් පුරා විද්‍යාත්මක කැණීම් මඟින් මතු කරගන්නා පුරා වස්තු අධ්‍යයනය කර, ඒවා අයත් කාලසීමා හා මානව යුග පිළිබඳව ඉතා නිශ්චිතව නිවැරදිව කාල නිර්ණය කිරීමට හැකියාව ලැබී ඇති බැවිනි.
    පුරාණයේ ගෝත්‍රික ජන සමාජ වශයෙන් ජීවත් වූ ආදී කාලීන මනුෂ්‍ය වර්ගයාහට තිබූ වුවමනා හා අවශ්‍යතා සීමාසහිත විය. පසුව ක්‍රමයෙන් මිනිසා භෞතිකව දියුණුවත්ම, මානව අවශ්‍යතා ඊට අනුරූපව අනුක්‍රමයෙන් සංකීර්ණ වන්නට විය. මානව ජීවිතය පවත්වාගෙන යෑමේ මූලික අවශ්‍යතා වන ආහාර පාන, නිවාස, වස්ත්‍ර වැනි අවශ්‍යතාවයන්ට අමරතව වඩා හොඳින් සමාජ තත්වයක් ඇතිව ජීවත්වීමට වුවමනා විය. ඒ අනුව තමාගේ සමාජ තත්වය පිළිබිඹු කරන වඩා නවීන පන්නයේ නිවාස, විවිධ මෝස්තරවල ඇඳුම් පැළඳුම්, ඉදුම් හිටුම්, ආහාර පාන මානවයාට අවශ්‍ය විය. පෙර කාලයේදී තම ජීවිතය ගැට ගසා ගැනීමේ අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා ආහාර පාන ලබා ඉන් තෘප්තිමත් වූ මිනිසාට වර්තමානයේ වුවමනා වී ඇත්තේ ඒ මූලික අවශ්‍යතාව ඉටුකරවා ගැනීම පමණක් නොවේ. තමන්ගේ සමාජ තරාතිරම, සමාජ මට්ටම අනුන්ට පෙන්වීමේ වුවමනාව තෘප්තිමත් කර ගැනීම සඳහා ද අනුන්ට ප්‍රදර්ශනය වන පරිදි, වැඩි මිළ ගණන් වලට, ඉහළ පෙලේ බොජුන්හල්වලින් ආහාර පාන ලබා ගැනීමට පවා මානවයා යොමුව සිටී. එබඳු තැන්වලින් ආහාර පාන ලබා ගැනීම තමාට සුවිශේෂී ගෞරවයක් අත්පත් කරදීමට හේතුවක් යැයි ‍ඔවුන් සිතන බව පෙනේ.
    ඇතැම්විට මෙබඳු සුපිරි වෙළඳ බොජුන්හල්වල ආහාර පානාදිය සාමාන්‍ය තැන්වල අලෙවියට ඇති ආහාර පාන වලට වඩා පිරිසිදුකම අතින් නම් ඉහළ තත්වයක පැවතිය හැක. නමුදු මෙබඳු තැන්වලටම පැමිණීම පුරුද්දක් කරගත් සෑම අයෙකුම පැමිණෙනුයේ හුදෙක් මෙහි ඇති ආහාර පානාදියෙහි පිරිසිදුකම සලකාගෙනම නොවේ. එය ඔවුන්ටම අනන්‍ය වූ එක්තරා සංස්කෘතියක් බවට පත්ව ඇති බැවිනි. බොහෝවිට මෙබඳු ස්ථානවලට ඔවුන් පැමිණෙනුයේ හුදෙක් ආහාරපාන ලබාගැනීම උදෙසා පමණක්ම නොවන බව පෙනේ. සිය සමීපතමයින් සමඟ විවේකී ස්ථානයක සුහඳ පිළිසඳරක ද යෙදීමේ බලාපොරොත්තුවෙනි. ඒ අනුව මෙබඳු අරමුණු පෙරදැරි වූ අයටම සුවිශේෂී වූ විවිධ වෙළඳ නාම වලින් හැඳින්වෙන සුපිරි බොජුන් හල් අද මෙරට සෑම මංසන්ධියක් පාසාම ඉදිව තිබේ. මේවා දීප ව්‍යාප්තව ජනප්‍රියත්වයට පත්වීමට මිනිසුන්ගේ සමාජ මට්ටම තෘප්තකර ගැනීමේ වුවමනාව බොහෝ දුරට බලපෑවේය. සරළ මට්ටමේ සිසිල් බීමක් පවා සාමාන්‍ය වෙළඳ පලේ අඩු මුදලට තිබිය දී මෙබඳු තැනකට විත් වැඩි මුදලක් දී මිළඳී ගන්නේ ආර්ථික මට්ටම ඉහළ තලයක් පවතින නිසා නොව සමාජ මට්ටම ප්‍රදර්ශනය කිරීමේ ආශාව දැඩිව බලපවත්වන බැවිනි. මිනිසුන්ගේ මේ වුමනාවෙන් ප්‍රයෝජන ගන්නා වෙළඳ සමාජය තවතවත් එබඳු ආකල්ප කුළු ගන්වා ඒවායින් ආර්ථික ලාභ සරිකර ගැනීමේ ප්‍රයත්නවල අඛණ්ඩව නිරතව සිටී. මේ ස්ථානවල විකිණීමට තබා ඇති ඕනෑම ආහාර පානාදියක් ඊට දෙගුණයකටත් වඩා අඩු මුදලට සාමාන්‍ය වෙළඳ සැලකින් මිලදීගත හැක. ඔවුන් වැඩිපුර ගෙවනුයේ ද සමාජ මට්ටම උදෙසාය. මේවා විවේචනය කිරීම හෝ මේවා අනවශ්‍ය යැයි මෙහිදී තර්ක ගොඩ නැඟීමට වඩා වැදගත්කොට සලකනුයේ මානව චර්යා පිළිබඳව මානව විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් අධ්‍යයනය කිරීමට මෙමඟින් මාහැඟි ඉඩ ප්‍රස්තාවක් සැලසීමයි. සමාජ විද්‍යා‍වේ සහභාගී නිරීක්ෂණ ලෙස අර්ථවත්වන මාහැඟී පර්යේෂණ රාශියක් මහාචාර්ය නන්දසේන රතනපාල මහතා විසින් සිදු කර තිබේ. පොත්පත්වලින් විෂය මූලධර්ම හැදෑරීමට වඩා සුවිශාල ගැඹුරක් මෙහි පවතී.

    ReplyDelete
  23. ජීව විද්‍යාව මඟින් මානව ජෛව ක්‍රියාකාරීත්වය චර්යා, ආවේදන හා සංජානනය යන පැතිකඩ වලට අදාළව අධ්‍යයනය කරනු ලබයි. මෙහි අන්තර්ගත ලිපි මඟින්, මානව මොළයේ රසායනික ද්‍රව්‍ය සංයෝගවල, මොළයේ විද්‍යුත් සංඥාවල, ස්නායු පද්ධතියේ හා හෝමෝනවල ක්‍රියාකාරීත්වය යනාදී දේ නිසා මිනිසා ඊට අනුරූපව චර්යාවේ දක්වන වෙනස විචාරාශීලීව දක්වා තිබේ. යමක් අවබෝධයේ සීමා හා ඒවාට දක්වන සංවේදී ස්වභාවය පිළිබඳව විචාර පූර්වක දැක්මක් මෙමඟින් ඇතිකරගත හැක. මෙහි දී බොහෝ දුරට වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් ආදිය මඟින් මේ පැතිකඩ ආවරණය කර ගැනීමට මහඟු පිටිවහලක් සැපයේ. සංජානන ගැටළු ආදිය ඇති වනුයේ මිනිසුන් කීප දෙනෙකු එකම ප්‍රස්තුතයක් විවිධ දෘෂ්ටිකෝණවලින් සිය අත්දැකීම්වලට සරිලන සේ කීප ආකාරයකින් සංජානනය කර ගනු ලබන හෙයිනි. මේ හේතුව නිසා යමක් අවබොධ කරවීමේදී සංජානනය පිළිබඳව ද සුළු හෝ වැටහීමක් ලබා තිබීම අතිශයින් වැදගත්ය. සංජානනය නැමැති ප්‍රස්තුතය ජීව විද්‍යාවට අදාළව මෙහි දී සාකච්ඡාවට බඳුන්ව තිබේ. සාමාන්‍යයෙන් මනෝවිද්‍යාවට අදාලව සංජානන පැතිකඩ යටතේ දෙවන පරිච්ඡේදයේ වූ ලිපි පෙල ගස්වා තිබුණ ද, මෙහිදී ජීව විද්‍යාත්මක දෘෂ්ටිකෝණය මඟින් එය වෙනත් අයුරකින් සාකච්ඡා කරනු ලැබේ.
    මෙහි දැක්වෙන සෑම ලිපියක්ම මා විසින් ලියන ලදුව පුවත්පත්වල පළ වූ ඒවාය. එම පුවත් අතරින් සුබසෙත, බුදුසරණ, සිළුමිණ, දිවයින, දිවයින ඉරිදා සංග්‍රය හා බුදුමඟ යන පුවත්පත් ප්‍රධානය. මේ හැර අන්තර්ජාලයේද විද්‍යුත් පුවත්පත්, සඟරා හා වෙබ් අඩවි කිහිපයක මගේ මේ ලිපි පළ වී තිබේ. ඒ අතරින් සිංහල බෞද්ධයා නම් අන්තර්ජාල පුවත්පත වැඩි ජනප්‍රියත්වයක් ලබා ඇති විද්‍යුත් පුවත්පතකි. අන්තර්ජාලය හරහා මගේ ලිපි කියවීමට කැමැත්තක් දක්වන විශාල වූ විදේශීය පාඨක පිරිසකට ම‍ගේ මේ ලිපි විද්‍යුත් තැපෑල මඟින් යවා ඇත්තෙමි. එසේම කැමති අය වෙත් නම් එබඳු අයට සිංහල අකුරින්ම “සාරධර්ම” යන පිවිසුම මඟින් හෝ මගේ ලිපිවල සඳහන් උද්ධෘත පිවිසුම ලෙස යොදා මගේ ලිපි බාගත කරගත හැකිය. තවද ඉහත සඳහන් ජාතික පුවත්පත්වලට මා යොමුකළ ලිපි සියල්ලම මේ වන විට ඒ පුවත්පත් හරහා අන්තර්ජාලයට මුදා හැර ඇති බැවින් ඔබට අන්තර්ජාල පහසුකම් තිබේ නම් එදා මෙදා තුර වසර ගණනක් මුළුල්ලේ රචනා කරන ලද මගේ ලිපි සියල්ලම වුවද අන්තර්ජාල මඟින් නොමිලේ කියවිය හැක.
    එවකට ප්‍රාථමික පාසැලක්ව පැවති කොළඹ අශෝක විදුහලෙන් මූලික අධ්‍යාපනය හදාරා 1981 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වූ මාහට 6 වසර සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වීමට ලැබිණ. මා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් වාණිජ විෂය ධාරාව යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිටියේ 1989 දීය. එකල ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන ජීවිතයද බොහෝ අර්බුදකාරී ස්වරූපයක් ඉසිලීය. වාර්ගික අර්බුද නිසා රටේ බොහෝ කලබල අවුල් වියවුල් පැවතිනි. පාසැල් හා විශ්වවිද්‍යාල වසා තැබුණු දින වකවානු වැඩි විය. මගේ ජීවිතය සහමුලින්ම වෙනස්කිරීම්වලට බඳුන් වූ දරුණු සුළිසුළං කුණාටු බඳු ජීවිත පෙරළි රැසකට මුහුණපෑමට මට සිදුවිය. විටෙක මා දැඩි සේ රෝගී විය. ජීවිත අපේක්ෂා අත්හැරදැමීමේ අවස්ථා ද අපමණය. නමුදු මරණය ආසන්නයට ගොස් පෙරළා නැවත පැමිණිමට තරම් මා භාග්‍යසම්පන්න විය. මගේ අධ්‍යාපනය මෙන්ම ජීවිතය ද වරින් වර බාධක හමුවේ විවිධ වෙනස්කම්වලට පරිවර්තනවලට ලක් විය. නමුදු ඒ කිසිදු විටෙක මගේ ප්‍රතිපත්ති නොවෙනස්ව පැවතිනි. ඇතැම්විට ප්‍රතිපත්ති නිසාම බොහෝ දුක් කරදර හිරිහැර ද විඳ දරා ගැනීමට ද සිදු විය. ඒ සෑම විටකදීම බුදුදහම මාගේ ජීවිතය හා බද්ධව පැවතීම වෙස්වලාගත් ආශිර්වාදයක් විය. මා විඳි දුක තුළින්ම සැනසිල්ල ලැබිය හැකි මඟ උගත්තෙමි.

    ReplyDelete
  24. පැවිදි දිවියට පත්වීමටද තරුණ වියේදී මගේ සිතේ දැඩි ආශාවක් විය. නමුදු එය මේ දිවියේ කෙදිනකවත් ඉටුකර ගත නොහැකි විය. මගේ මව ඊට දැඩිසේ අකමැතිවූයේ මා පවුලේ එකම පිරිමි දරුවා වූ නිසා යැයි සිතේ. පැවිදිවීමට මගේ සිතේ වූ ආශාව නිසා සතර පොහෝ දිනයටම පන්සල් ගොස් දශ ශිලය සමාදන්ව සිටීමට මම හුරුව සිටියෙමි. මුලදී මගේ මව මා සිතින් වේදනා විඳින බැවින් එසේ කරතැයි සිතා ඊට එතරම් කැමැත්තක් නොපෙන්වුවද පසුව මගේ මව ඊට ආශිර්වාද කළාය. ඉන් පසු දුර බැහැර පිහිටි ආරණ්‍ය සේනාසන කරා ගො‍ස් විදර්ශනා භාවනාව වඩා හුරු පුරුදු වීමට මම කැමැත්තක් දැක්වීමි. විවිධ මට්ටම්වල දැන උගත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා හමුවෙමින් මට මතු වූ ආගමික ගැටළු පිළිබඳව සාකච්ඡා කළෙමි. මා මේ උගත්කම ලැබුවේ එසේ නොදන්නා දෙය ගැන අසමින් දැනුම ලැබීමේ ආශාවෙන් පැමිණි ගමනේදීය. උසස් අධ්‍යාපනයට යොමුවීමේ මගේ ප්‍රවේශය සැකසෙන්නේ ඊට පසුවය. කෙතරම් උපාධි ලැබුවද මගේ දැනුම් පිපාසය තවම නිවී නැත. බුදුදහම පිළිබඳ අධ්‍යයන කරන විට මට තවම ගැටළු මතු වේ. ඒ නිසා මගේ විශ්වවිද්‍යාල ජීවිතය අනෙක් බොහෝ ශිෂ්‍යයින්ට වඩා සාමකාමී හා ඵලදායී එකක් විය. අද පවා මට ගැටළුවක් ඇති වූ විට මධ්‍යස්ථව ඊට මුහුණදීමට හැකිව ඇත්තේ මුලදී මාලැබූ ඵලදායී පුහුණුවීම් නිසා යැයි මට සිතේ.
    බුදුදහමට මෙතරම් ආශක්තවීමට හේතුව කුඩාකළ සිට මා මුහුණ දුන් අත්දැකීම් යැයි සිතේ. ඒ අත්දැකීම් නිසා සම වියේ සිටි වෙනත් අයෙකුට වඩා මම දැනුමින් මුහුකුරා ගිය අයෙකුව සිටියෙමි. මා නිතරම කටයුතු කලේ මාගේ හෘද ශාක්ෂියට එකඟවය. මා මූළධර්මවාදියෙකු නොවෙමි. ආගම් ගැන ම‍ගේ සිතේ ඇත්තේ දැඩි සෙනෙහසකි. එය හැඟීමක් බැවින් වචනයෙන් ප්‍රකාශකරන විට ඊට සුදුසු වචනයක් සම්මත භාෂාව තුළ නොවිය හැක. එනිසා මගේ ප්‍රකාශන සෑම දෙයක් දෙසම හුදු වචනාර්ථ දෘෂ්ටිකෝණයෙන් නොව අර්ථය අනුව සැලකීමට තරම් කාරුණික වනු ඇතැයි මම විශ්වාස කරමි. මගේ සෑම ශාස්ත්‍රීය පර්යේෂණ ලිපියක් පාසාම කියවීමට ලැබෙනුයේ මා ජීවිතය තුළින් කියවූ යම් යම් වටිනා කරුණුය. එසේම ඒවා සම්පාදනයේ දී හැමවිටකදීම මා උත්සුක වූයේ ඒවා නිර්මාණශීලීව පෙළ ගස්වන්නටය. කෙතෙක් ශාස්ත්‍රීය වුවත්, පර්යේෂණාත්මක වුවත් මිනිසුන් ඉන් කිසිදු ඵලප්‍රයෝජනයක් ලබා නොගන්නේ නම්, ඒවා නිරර්ථකය. ඒ නිසා මා වෙහෙසුනේ මිනිසුන්ගේ හදවතට ළංවිය හැකි වාග් මාලාවකින් පොදුජන වහරින් නිර්මාණශීලී ලෙස ඔවුන් ඇමතීමටය. සමහරු ශාස්ත්‍රීය යනු පාදක සටහන් හැකිතාක් ස්වකීය ලියවිලිවල බලෙන් ඔබ්බවා පුරවා දැමීම ලෙස වරදවා වටහාගෙන සිටිති.
    අනුන්ගේ පොත්පත්වල ලියා ඇති දේ යළි නැවත වරක් ඉදිරිපත් කිරීම නිර්මාණශීලී නොවේ. පාදක සටහන් හා ආශ්‍රේය ග්‍රන්ථ මාලා නොදැක්වූව ද මේ ලිපි පෙල සකස් කිරීමේදී භාෂා කිහිපයකම ශාස්ත්‍රීය පර්යේෂණ ග්‍රන්ථ පරිශීලනය කර තිබේ. මේ පොතෙන් දැක්වෙනුයේ පුවත්පත් ලිපි කීපයක එකතුවක් පමණි. සාමාන්‍යයෙන් පුවත්පත් ලිපියකදී පාදක සටහන් දැක්වීමක් සිදු නොවේ. ඇතැම්විට කලාතුරකින් එසේ දැක්විය හැකි වුවද, එයට පාඨක ඇති පාඨක ප්‍රතිචාරය සෘණාත්මක විය හැක. ඒ නිසා මා පුවත්පත් සඳහා ලිපි සම්පදානය කළ මුල් යුගයේදී පටන්ම ඒ පුවත්පත් කර්‍තෘවරුන් මගෙන් ඉල්ලා සිටියේ හැකිතාක් විශ්වවිද්‍යාලවල පර්යේෂණ පත්‍රිකා, ශාස්ත්‍රීය පර්යේෂණ නිබන්ධන රචනා වී ඇති ක්‍රමයට නොලියා කට වහරට ළංවන සේ හැකිතාක් සරළ බස් වහරකින් ඒවා ලියාදෙන ලෙසයි. මේ පුවත්පත් ලිපි අතර ඇති ඇතැම් රචනා සම්පාදනය වී ඇත්තේ පශ්චාත් උපාධි සඳහා විශ්වවිද්‍යාල වලට ඉදිරිපත් කළ මගේම ශාස්ත්‍රීය පර්යේෂණ නිබන්ධන හා පර්යේෂණ පත්‍රිකා අනුසාරයෙනි. මම ඒවායේ පාදක සටහන් හා ආශ්‍රේය ග්‍රන්ථ නාමාවලි ඉවත්කර වඩා සරළ බසකින් ඒවා යළි ලියුවෙමි.

    ReplyDelete
  25. මගේ සිතේ සාරධර්ම පිළිබඳ අදහස මතුවන්නට වූයේ කිනම් වකවානුවලදීදැයි නිශ්චිත මතක නැතත්, මා මුහුණ දුන් විවිධ ජීවිත ගැටළුවලදී මා සතුව පැවති යම් යම් ප්‍රතිපත්ති නිසා බොහෝ ගැටළු පහසුවෙන් නිරාකරණයවීමට විවිධ මාර්ග, අවස්ථා හා පුද්ගලයින් හමුවූ බව නම් මතක ඇත. ධර්මය රකින්නා ධර්මය විසින්ම රකිනු ලැබේ යන පෙළ දහම අනුව බොහෝ දුක්කම්කටොලුවල දී පිහිටට ආවේ දහමයි. මා කොළඹ ආනන්ද විද්‍යාලයේ දී උසස් පෙළට හදාරන ලද වාණිජ විෂය ධාරාවට වඩා හාත්පසින්ම වෙනස් බුදුදහමට සම්බන්ධ විෂය ධාරාවක් යටතේ උසස් අධ්‍යාපනය සඳහා මගේ සිත යොමු වූයේ සසර පුරුද්ද අනුව බව මට දැන් වැටහේ. තවත් පුදුමයක් වූයේ එම විෂය ධාරාව හැදෑරීම සඳහා මට ගුරුවරයෙකු නොමැති වීමයි. මේ යටතේ පාලි භාෂාව හා සාහිත්‍ය පමණක් නොව ‍පෙල දහම හා තුලනාත්මක ආගමික අධ්‍යයනයන් වැනි දේ පවා ප්‍රගුණ කලේ මා විසින් තනිවමය. මා තනිව එබඳු විෂයන් හදාරා මගේ දැනුම මැන බැලීම සඳහා විශ්වවිද්‍යාල හා වෙනත් එබඳු ආයතනවල පිළිගත් විභාගවලට ඉදිරිපත්වීමයි. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයෙකුව සිටින අවදියේ හැර වෙනත් එකදු හෝ අවස්ථාවකදී වත් මා කිසිදු ගුරුවරයෙකුගෙන් ඉගෙන ගෙන නැත.
    විද්‍යෝදය පරිවෙණස්ථ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් පවත්වනු ලබන ත්‍රිපිටක ධර්‍ම පරීක්ෂණ සඳහා මම පෙනී සිටිමි. එහිදී අභිධම්මාචරිය උපාධිය ප්‍රාරම්භ,මධ්‍යම හා අවසාන පරීක්ෂණ විශිෂ්ට ලෙස සමත්වීමි. එහි සද්ධම්මාචරිය උපාධියේ ප්‍රාරම්භ පරීක්ෂණයද සමත්මි. අභිධම්මචරිය උපාධිය විශිෂ්ට ලෙස සමත්වූවන්ට ලැබෙන අවස්ථාවක් ලෙස වැල්ලවත්ත තරුණ බෞද්ධ සමිති ශාලාවේ පවත්වාගෙන යනු ලැබූ අභිධර්ම පංතියේ දේශන පැවැත්වීමද වසරකට අසන්න කාලයක් පුරා පවත්වා ගියෙමි.කුඩා කල මා කොළඹ කුප්පියාවත්තේ ජයශේඛරාරාම විහාරස්ථ ශ්‍රී ධර්ම රක්ෂිත දහම් පාසැලේ දහම් අධ්‍යාපනය ලැබූවෙමි. පසුකලක 1997 දී දහම් පාසැල් අවසාන සහතික පත්‍ර විභාගයද, 1998 බෞද්ධ ධර්මාචාර්ය විභාගයද විශිෂ්ට ලෙස සමත්වීමි. එසේම කොළඹ තරුණ බෞද්ධ සංගමය මඟින් පැවැත්වූ පාලි ධම්ම අභිධම්ම විභාගය ප්‍රාරම්භ මධ්‍යම හා අවසාන විභාගය ද විශිෂ්ට ලෙස සමත්වීමි. ප්‍රාචීන භාෂෝපාකාර සංගමය මඟින් මෙහෙයවනු ලබන විභාගවලින්ද සමත්වීමි. ධර්මදීප්ති හා ශ්‍රී පඤ්ඤෝදයාරාම යන දහම් පාසැල්වල දහම් ගුරුවරයෙකු ලෙස වසර ගණනක් පුරා කටයුතු කර ඇත්තෙමි. එසේම එකී විහාරස්ථාන ආශ්‍රිතව වසර ගණනක් මුළුල්ලේ පොහෝදිනවල පෙහෙවස් සමාදන්ව විසීමි.එබඳු දින වලදී දහම් කතා, භාවනා පිළිබඳ දේශකයෙකු ලෙස කටයුතු කර ඇත්තෙමි.
    උපාධිධාරී නිලධාරියෙක් ලෙස පත්වීම ලබා මා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රලේඛන සහකාර තනතුරට 2005 දී පත්වූ අතර එදා මේ දක්වා දැනට වසර ගණනක සිට සේවය කරමි. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ බණ්ඩරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනය, දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය යන සේවා ස්ථාන වල 2005 සිට 2010 වසර දක්වා සේවය කළෙමි.දැනට සේවය කරනුයේ ශ්‍රී ලංකා ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේය. 2008 දී මුදල් හා සැලසුම් අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ගිණුම් හා මූල්‍ය ආයතනය (Ingaf)මඟින් පැවැත්වූ ගැටුම් කළමනාකරණය හා නායකත්වය පාඨමාලාව හදාරා සමත්වීමි. 2009 දී ඒ ආයනයේම පුහුණු කිරීමේ මූළධර්ම පාඨමාළාව හදාරා සමත්වීමි. මා සියළු පශ්චාත් උපාධි ශාස්ත්‍රීය පර්යේෂණ නිබන්ධන රචනා කලේ මගේ වෘත්තීමය කටයුතු නොපිරිහෙලා ඉටු කරන අතරතුරේදීමය. පුවත්පත් සඳහා ලිපි රචනා කලේ හා පුවත්පත් ලිපි එකතුව පොතක් වශයෙන් සකස් කලේද කිසිදු කටයුත්තකට බාධා නොවන අයුරින් මා සතු සීමිත කාලය මැනවින් කළමනාකරණය කරගනිමිනි.

    ReplyDelete
  26. මම 1998 දී ‍ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බුද්ධධර්ම ඩිප්ලෝමා පරීක්ෂණය සමත්වීමි.එසේම 2001 දී එම විශ්වවිද්‍යාලයේම පාලි ඩිප්ලෝමා පරීක්ෂණය සමත්වීමි.1999 දී එම විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය සඳහා ලියාපදිංචි වීමි. 2001 දී පාලි, බෞද්ධ දර්ශනය හා බෞද්ධ සංස්කෘතිය යන විෂයයන් වලින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය දෙවන පෙළ සාමාර්ථය ලැබුවෙමි. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල‍යේ බාහිර උපාධිය සඳහා ලියාපදිංචිවීමට සමගාමීව මම ඒ වසරේදීම එනම් 1999 දීම කැලණිය විශ්වවිද්‍යාලයේද බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ දර්ශනය හා පුස්තකාල විද්‍යාව යන විෂය යටතේ බාහිර උපාධිය සඳහා ලියාපදිංචි වූයෙමි. පළමු වසර පරීක්ෂණයේදී ලැබූ විශිෂ්ඨ සාමාර්ථ මත පුස්තකාල විද්‍යාව විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය සඳහා අයදුම්කළ නමුදු, ඒ වනවිට අවශ්‍ය පාඨමාළා සැලසුම් සකස් කර නොතිබීමේ අඩුපාඩුව මත එම ඉල්ලීමට ඉඩ නොලැබිණි. නමුදු කෙසේ හෝ විශේෂ ශාස්ත්‍රවේදී බාහිර උපාධියක් හැදෑරීමට මට තිබූ වුවමනාව මත ප්‍රධාන විෂය බෞද්ධ සංස්කෘතිය ලෙස හා අනුවිෂය බෞද්ධ දර්ශනය ලෙස මා කැලණිය විශ්වවිද්‍යාලයේ විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය 2005 සමත්වීමි. යළි 1999 දී පාලි,බුද්ධ ධර්මය, සිංහල හා බෞද්ධ සංස්කෘතිය උසස් පෙළ විභාගයට පෙනී සිට ලබාගත් ප්‍රතිඵල මත විශේෂ අවසරය ලබා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට අභ්‍යන්තර ශිෂ්‍යයෙක් ලෙස ප්‍රවේශ වූයෙමි.එහිදී පාලි, පුරා වස්තු හා බෞද්ධ කලා, බෞද්ධ සංස්කෘතිය විෂය යටතේ අධ්‍යාපනය ලබා බෞද්ධ සංස්කෘතිය විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය පළමු පෙළ සාමාර්ථය හිමි කරගතිමි. එහිදී මගේ අනු විෂය වූයේ පාලි භාෂාව හා සාහිත්‍යයයි. මවිසින් එම උපාධිය සඳහා ඉදිරිපත්කලේ “කාලාම සූත්‍රයෙන් හෙළිවන බෞද්ධ සාරධර්ම පිළිබඳ විචාරපූර්වක අධ්‍යයනයක්” මැයෙන් වූ ශාස්ත්‍රීය නිබන්ධනයයි. පසුව කැලණි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය යටතේ දර්ශනපති යෝග්‍යතා පරීක්ෂණය සඳහා පෙනී සිට ඉන් සමත්වූයෙමි. 2005 දී දර්ශනපති උපාධිය සඳහා පූජ්‍ය මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමිගේ පර්යේෂණ උපදේශකත්වය යටතේ “ත්‍රිපිටක‍යෙන් හෙළිවන මෙත්තා සංකල්පයෙහි බෞද්ධ සාරධර්ම පදනම පිළිබඳ විචාර පූර්වක අධ්‍යයනයක්” මැයෙන් වූ ශාස්ත්‍රීය පර්යේෂණ නිබන්ධනය 2007 දී කැලණි විශ්වවිද්‍යාල‍යට ඉදිරිපත් කර ඉන් සමත්වීමී.
    මම ආචාර්ය උපාධිය (PhD) කැලණි විශ්වවිද්‍යාලයෙන් ලබා ගතිමි. එහි දී මගේ නිබන්ධන මාතෘකාව වූයේ “සංජානන පැතිකඩ පිළිබඳව බුදු දහම ඇසුරින් සිදු කෙරෙන විචාර පූර්වක අධ්‍යයනයක්” යන්නයි. එහි විෂයපථය දැඩිව මනෝවිද්‍යාව හා බැඳී පවතී. මගේ ආචාර්ය උපාධි පර්යේෂණ නිබන්ධනයේ උපදේශක මහාචාර්ය හිමි වනුයේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මනෝවිද්‍යාව යන විෂය පිළිබඳ මහාචාර්ය හිමියන් වූ පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත මහ නාහිමිය. උන් වහන්සේ කැලණි පන්සලේ මහනායක හිමියන්ය. පුවත්පත්වලට යොමුකර දැනට පළවෙමින් පවතින මගේ පුවත්පත් ලිපිපෙල පොතක් ලෙස එළි නොදක්වනුයේ මන්දැයි මා දැනට සේවයේ කරන බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ වෛද්‍ය හා හෙද සේවාවේ නිරත කාර්ය මණ්ඩලවල විශාල පිරිසක් මගෙන් විමසීමද මෙබඳු පොතක් ප්‍රකාශයට පත්කිරීම සඳහා මා උනන්දුවීමට හේතුවිය. මේ පොතෙන් ඉදිරිපත් කෙරෙන අදහස් වලට සමාන හෝ විරුද්ධ අදහස් දැරීමට යමෙකුට ඇති අයිතිය මම එකහෙළාම පිළිගනිමි. කිසිවෙකුට මේ අදහස් පිළිගන්නැයි කිසිදු බලකිරීමක්ද නොමැත. එබන්දක් වෙතොත් එය කිසියම් අයුරක මානසික බලහත්කාරකමකි. එසේම මේ පොතේ අන්තර්ගත කර ඇති ලිපිවල කිසියම් අඩුපාඩුවක් වෙතොත් කාරුණිකව එබඳු දේ පෙන්වාදීම ඒවා නිවැරදි කරගැනීමට උපකාරයකි. ඊට මගේ හෘදයාංගම කෘතඥතාව හිමි වේ.

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ටු කෙටිකර සාරාංශ ගතකර ලියන්නේ නම් මේ බ්ලොගය කියවන අපට පහසුවක් බව කියමි.

      Delete
    2. ගරු ආචාර්‍යතුමනි ඔබවිසින් මෙවැනි විචාරයක් මෙහෙ කොමෙන්ටු මගින් දැක්වීම පැහැදිලි නැති අතරම එහි අඩංගු සමහර කරුණුද පැටලිලි සහගත වේ. ඔබ යම්විදියකින් කොමෙන්ටුවක් දමන්නේනම් එය හැකිතරම් කෙටියෙන් සංක්ෂිප්ත කොට දමන්නේනම් මැනවි. මෙවැනි කොමෙන්ටුවක් දැමීමට වඩා පලයක් මෙය පොස්ටුවක් කොට ලීවානම් ඔබට ලබයි කියා මා විශ්වාස කරමි.
      කෝරලේ වලව්ව

      Delete
    3. හේවගේ මහතාණෙනි! මෙවන් දීර්ඝ කොමෙන්ටු දැමීම හඳට ගල් ගසන්නාක් මෙන් නිෂ්පල ක්‍රියාවකි.මෙයින් ඔබේ මතය සමාජ ගත කිරීමට නොහැකි වන්නේ මෙවැනි කොමෙන්ටු කිසිවෙකු විසින් කියවීමට උත්සහ නොකරන හෙයිනි.අනිත් අතට මෙයින් බ්ලොගය තුල තිබිය යුතු සමබර තාවයද ගිලිහී යයි.

      Delete
    4. අනුන්ගෙ බ්ලොග් මෙසේ මාගල් බදු කොමෙන්ටු දැමීමෙන් කියවන්නාට එපා කරවන මේ වෑයම තරයේ හෙලා දකිමි. ඔබේ චරිතයෙන් අපට පලක් නැත...මා දුටු හැම තැනකම මේ ආචාරි තුමා තමාගේ පුද්ගලිකත්වය ඉස්මතු කිරීමට කරන නිෂ්ඵල වෑයම දැක ඇත්තෙමි... ඕවා කියවන්නට මිනිස්සුන්ට වෙලාව නෑ...

      Delete
    5. සිරා අයියේ සිරාවටම මමත් එක පයින්ම එකඟයි.

      Delete
  27. ෂා අගේ ඇති පොතක් නෙව.. ඒ වගේම පොත ගැන කියපු විස්තරෙත් අනර්ඝයි... හම්බ උනොත් අනිවාර්යයෙන් ම කියවනවා..

    ReplyDelete
  28. gayani godak dewal igena ganna
    puluwan blog ekak oyage eka nam..
    ada thamai enna labune mata...

    ReplyDelete
  29. ඇත්තෙන්ම මෙවන් සමයකදී ලංකාවේ වැඩියෙන්ම අලෙවියක් තියෙන්නේ බුදු දහම හා බැදුන පොත්පත්වලට. බුදු සහමෙන් කියා දුන් බොහෝ දේවල් සහමර වෙලාවට මෙවන් කෘතිවලින් පැහැදිලි කරනවා. ඒත් මම බොහෝ විට පෙළඹෙන්නේ හිමිනමක් විසන් විරචිත ධර්ම ග්‍රන්ත කියවීමටයි.මෙවන් පොකත් වුනත් ලියපු තැනැත්තාගේ දැනුම හා ඔහුගේ බුද්ධිමය වපසරිය අනුව ලියැවීඇත්නම් කියවන්නට පසුබට වෙන්නෙ නෑ.

    ස්තූතියි මේ අගනා විචාරයට..

    ගයානිගේ අඩවිය හරිම ලස්සනයි අලංකාරයි. හොඳ පෙනුමක් තියෙනවා.සිත්ඇදගන්නා සුළු නිමැවුමක්. අර මගේ පිංතුරෙත් ලස්සනයි ස්තූතියි ඔබට

    ReplyDelete
  30. ටිකක් බර වචන වලින් සැකසුනු පොස්ට් එකක්.

    දැනුවත් කිරීම ගැන ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසරණයා.

      Delete
  31. අදකාලේ හරවත් දේවල් කියවන අය ගොඩක් අඩුයි. අනෙක තමයි පොත්පත්වලට ඇති තැන දැන් ගොඩක් අඩුවෙලා යන බව පේන්නට තියෙනවා. Good job Gayani

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෝරලේ මහත්තයා.

      Delete
  32. අපගේ දැනුමේ ඉම විශාල කරනු අරභයා හැමදාමත් අර්ථවත් දෙයක් ලියන ඔබේ වෑයම අගය කරමි.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...